මාර්තු මස අවසන ඖෂධ හිඟය අවසන් කරනවා - රාජිත

පෙබ 11, 2019

    මාර්තු අවසන් වන විට ඖෂධ හිඟයට විසදුම් පිරිනමන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අදහස දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. නමුත් එවැනි තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවයට අවතීර්ණ වීමේ දොර මම විවෘත කර තිබෙනවා. සාමන්‍ය ජනතාවට නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් ජනතා සේවාවක් ඉටු කර තිබෙනවා. මැරෙන්න සිටින සෑම පුරවැසියෙකුටම ජිවිතය ලබාදෙනවා. මිනිස් ජීවිත වල වටිනාකම මනුෂ්‍යකමින් බැලිය යුතුයි. නමුත් සමහරු හිතනවා ඇති නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමත් පසුගිය රජයේ ව්‍යපෘතියක් කියලා.

    දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව. මම යළි රජය ලබාගැනීමේ සටන ආරම්භ කිරිමට ආත්ම ශක්තිය ලැබුනේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්යවස්ථානය කර ගනිමින් රජය යළි ලබා ගැනීමේ අරගලය ආරම්භ කළා. අපේ රජයේ හොරකම් තිබුනත් මිනී මැරුම් නැහැ. නමුත් පසුගිය රජයේ මිනීමැරුම්, සොරකම් තිබුනා. පානදුර ප්‍රදේශයේ දෙවන ජාතික රෝහල ඉදිකිරීමට මම පියවර ගන්නවා. රුපියල් මිලියන 22000 ක් ඒ සදහා වැය කරනවා. පානදුර කේතුමතී රෝහල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 14000 ක් වැය කරනවා. රෝහල් ගණනාවක් දිවයින පුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුනා. එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03 ක දී ගුවන් මගින් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි. පසුගිය වසර 03 තුල මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා යැයි “ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 16:39

    Latest News