හිටපු ඇමති රාජිත සේනාරත්නට අධිචෝදනා

ජන 18, 2021

    මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බාරදුන්නේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

    අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

    ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැදවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

    විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් වෙත භාර දී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 වැනිදා කැඳවන ලෙසයි නියම කළේ.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබේ.

    Latest News