ඇමති මහින්දානන්දට විදේශ ගතවීමට අවසර

ජූලි 08, 2021

    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 31 වනදා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියෝග කළා.

    2015 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින්
    විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව අමල් රණරාජා සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළා.

    මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තව සේවාදායකයාට මේ මස 26 වනදා සිට 28 වන දා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගි වීමට ආරාධනා ලැබී ඇති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් ඊට සහභාගි වීමට අවශ්‍ය වී ඇති හෙයින් දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම් නියෝගය තවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.

    ඉතාලියට ඇතුළුවීමට පෙර නිරෝධායන ක්‍රියාදාමයකට ද යොමු වීමට විත්තිකරුට සිදුවන හෙයින් එම විදේශ ගමන් තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර මහින්දානන්දඅලත්ගමගේ අමාත්‍යවරයාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන 31 දා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළා.

    2014 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දුට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News