ගිනි ගත් නැවෙන් ලැබෙන වන්දිවලට අදාළව ගොනු කළ පෙත්සමට දින නියම වෙයි

ජූලි 08, 2021

    එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි.



    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දිවලින් 70% කට නොඅඩු මුදලක් එම සිද්ධියෙන් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ. එය සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අධිකරණය පෙන්වා දුන්නේ මෙම නඩුවේ නීතිපතිවරයා හැර සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර නොමැති බවයි.

    පසුගිය දිනවල පැවැති සංචාරණ සීමා හේතුවෙන් වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසි යැවීමට නොහැකි වූ බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

    ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා වගඋත්තර කරුවන් වෙත නොතිසි යවන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට උපදෙස් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වනදා කැඳවන බව නියෝග කළා.

    පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජෙරන් ජෙගදීසන් යන අය විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජෙනරල්, වෙළෙඳ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් මෙරට සාගරයට ගණනය කළ නොහැකි හානියක් සිදු වූ බවයි.

    මේ හේතුවෙන් දෙසීයකට ආසන්න මුහුදු ජීවීන් පිරිසක් මියගොස් මේ වනවිට හමුවී ඇති බවත් එම හානිය වසර ගණනාවකින් වත් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි බවත් ඔවුන් චෝදනා කළා.

    මේ හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දි මුදල්වලින් 70% කට නොඅඩු ප්‍රමාණයක් මෙරට සාගරය ආරක්ෂා කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් සදහා යොදවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම මෙම සිද්ධියට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News