අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ; පළාත් අතර සීමා 19 දක්වා

ජූලි 05, 2021

    කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා අද (5) සිට තවත් සති දෙකක කාලයකට එනම් (19) වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    ඒ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (04) පැවසීය. මේ සංචරණ නීති කඩ කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

    දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ (4) පස්වරුවේ නිකුත් කරන ලද අතර එම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කැසිනෝ රාත්‍රී සමාජ ශාලා සමාජශාලා ඔට්ටු මධ්‍යස්ථාන සහ බාර් තවදුරටත් වසා තැබිය යුතු බව සඳහන් කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ නිකුත් කෙරුණු එම නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය මෙසේ සඳහන් වේ.

    ඒ අනුව වසංගත රෝග තත්ත්වයන්හී වෙනස්වීම මත පදනම්ව සංශෝධනය කරන ලද සංචරණ සීමා සංශෝධනයට ලක්විය හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

    අවසර ලබාදී ඇති කාර්යයන් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට තදින් අනුකූල වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද ඒ මගින් කර ඇත.

    නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් සියයට 30ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යා හැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව සියයට 50 දක්වා වැඩිකර තිබේ.

    එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනකුට සීමා කරමින් පැවැත්විය හැකි අතර වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා එක්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25කි.

    මූල්‍ය ආයතන‍, බැංකු, උකස් මධ්‍යස්ථාන විවෘතව තැබිය හැකි අතර මුළු ගනු-දෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුය. ලියාපදිංචි ජංගම වෙළෙඳුන් සහ පදික වෙළෙඳුන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අවසර හිමිව තිබේ. නව සීමා ලිහිල් කිරීම් යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර ඒ තුළ නිකරුණේ ගැවසීම තහනම් කර ඇත‍. එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම් අනුව හැකියාව ලැබී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පවත්වන විභාග හැර අනෙකුත් විභාග සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමට යටත්ව පැවැත්විය හැකිය. ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ඇවිදීමේ මංතීරු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව විවෘත කළ හැකිය. පිහිනුම් තටාක සඳහා අවසර නැත.

    මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර මනාල යුවල ඇතුළු 10 දෙනකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචි කිරීමට අවසර ඇත. ගෘහස්ථ පුද්ගලික උත්සව, ගෘහස්ථ රැස්වීම්, සම්භාෂණ සහ ආගමික උත්සව සඳහා අවසර නොලැබේ. සැණකෙළි, සංගීත සංදර්ශන, උද්‍යාන, වෙරළ, ගංඟා ඉවුරු වසා තැබිය යුතු බවද දන්වා තිබේ. පූජනීය ස්ථාන තවදුරටත් වසා තැබිය යුතුය. සිනමාහල් හා කෞතුකාගාර වසා තැබේ.

    පබ්, බාර්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, අවසර නැත. ස්පා සඳහා අවසර ලබා දී තිබේ. අවමංගල්‍ය අවස්ථා සඳහා දේහය මුදා හැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතුය. 15 දෙනකුට සහභාගී විය හැකිය. පුස්තකාල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කළ හැක. ක්‍රීඩා කටයුතුවලදී තිනව පුහුණුවීම් සඳහා අවසර ඇති අතර සමූහික වශයෙන් පුහුණු වීම් කළ නොහැක. වැඩිහිටි සහ ළමා නිවාසවලට අමුත්තන් පැමිණීම තහනම් කර ඇත. දිවා සුරකුම් මධ්‍යස්ථාන සියයට පනහක ධාරිතාවෙන් විකල්ප දිනයන් දී පවත්වා ගෙන යා හැක. නිශ්චිත වෙලාවන් තුළ අධිකරණ පරිශ්‍රයේ සහ කාමර තුළ කාර්යාල මණ්ඩලය සමඟ සිටිය යුතු උපරිම ධාරිතාව සියයට පනහක් වන අතර බස්නාහිර පළාත තුළ එය සියයට 35කට සීමා කර තිබේ. විනිසුරුවරයාගේ විශේෂ අවසරයකින් තොරව මහජනතාව හෝ සිරකරුවන් පරිශ්‍රයට නොගත යුතු අතර අධිකරණයේ නඩු විභාග කිරීම විනසුරුවරයාගේ අභිමතය පරිදි විහිද වූ පදනමක් මත සිදුකළ යුතුය.

    ගරාජ්, මෝටර් රථ ස්ථාන, වාහන සේවා ස්ථාන විවෘතව තැබිය හැකි අතර මහජනතාව එක්රැස් වීම සිදු නොකළ යුතුය. ඇඳුම් මසන්නන්ට, ඡායාරූපකරණයට, සිල්ලර සාප්පු, රෙදිපිළි ආයතන කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ. ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා අවසර ඇත. නිමි ඇඳුම් විකිණීමේ වෙළෙඳ සැල් සියයට විසි පහක ධාරිතාවක් යටතේ පවත්වා ගෙන යා යුතුය. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා අවසර ඇත. වැවිලි කර්මාන්තයට සහ කෘෂි කර්මාන්තයට අවසර ලබා දී ඇත.

    Latest News