ළමයින් 100ට අඩු පාසල් ජුලි මස ඇරඹීමට තීරණයක් (වීඩියෝ)

ජූලි 02, 2021
  • කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇතිව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා‍ මේ බව පැවසූයේ අද (02) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    මේ සඳහා ගුරුවරුන් එන්නත්කරණය පළමුව සිදුකිරීම අනිවාර්යය බව ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී එතුමා විසින් අවධාරණය කරන ලදී.

    ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් සෞඛ්‍ය නිර්දේශ මත ජූලි මාසය තුළ විවෘත කිරීමටත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමටත් අපේක්ෂා කෙරේ.

    එම සැළැස්මට අනුව මූලිකවම සියලුම ගුරුවරුන්ට, නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට එන්නත් ලබාදීමටත් ඒ තුළින් දෙමාපියන්ට දරුවන් පාසලට එවීම පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීමත් සිදුවනු ඇත.

    එමෙන්ම අන්තර්ජාල පහසුකම් නොමැති දූ දරුවන් සඳහා රටපුරා එම පහසුකම් සපයා දිය හැකි මධ්‍යස්ථාන 2000ක් විවෘත කිරීමටත් මහින්දෝදය විද්‍යාගාර, පාසල්, පන්සල් සහ ප්‍රජාශාලා ඒ සඳහා යොදාගැනීමටත් අපේක්ෂිතයි.

    දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, කලාප අධ්‍යක්ෂවරු මෙන්ම විදුහල්පතිවරුන් විසින් එම ස්ථාන 2096ක් හඳුනාගෙන ඇති අතර ජුලි මස 05 වැනි දින එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    Last modified on සිකුරාදා, 02 ජූලි 2021 19:19

    Latest News