"කොවිඩ් නිසා හැමදේම නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා"

ජූලි 02, 2021

    කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදි කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික උමං මාර්ගය විවෘත කළ අගමැතිතුමා, රුපියල් මිලියන 4999ක වියදමෙන් කොටුව ලෝටස් මාර්ගයේ මහල් 17කින් යුතුව ඉදිකෙරෙන “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ” වැඩ ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.

    කපුදූව අන්තර් හුවමාරුව මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඉදිකර අවසන් කිරීම විශේෂත්වයක් වන අතර පේරාදෙණිය පදික උමං මාර්ගය ඉදිකිරීමට ගතවූ කාලය මාස 12කි. අද වැඩ ආරම්භ කළ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මාස 24ක් තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රී රෝහණ පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ වදාළහ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු ද නිමල් ලංසා, ලොහාන් රත්වත්තේ, කාංචන විජේසේකර, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News