ගිනිගැනීමට ලක් වූ මෙසීනා නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවතට

ජූනි 26, 2021

    ගිනි ගැනීමට ලක් වු එම් එස් සී මෙසීනා නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවතට ඇදගෙන යමින් පවතියි.

    අනතුරට පත් නෞකාව වෙත පැමිණි ආපදා ටග් යාත්‍රා මගින් සිංගප්පූරුව වෙත ගෙන යන බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අප කළ විමසුමක දී කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ ලයිබීරියාවේ ලියාපදිංචි බහාලුම් ප්‍රවාහන නෞකාව තුළ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගින්නක් හට ගැනිණ. ගින්න නැවේ එංජින් කාමරයේ ව්‍යාප්ත වූ බවයි, කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. අනතුර සිදුවූයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් පිටතයි. ඒ කිරින්දට නාවික සැතපුම් 483ක් නැගෙනහිර දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ.

    එහෙත් නෞකාව ඒ වන විට පැවතියේ ශ්‍රී ලංකාවට අදාළ ගලවා ගැනීමේ හා සහන සේවා ආපදා කලාපය තුළ බැවින් නෞකා කාර්ය මණ්ඩලය,අනතුර පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වරාය බලධාරීන් දැනුවත් කර තිබේ. එමෙන්ම ඉන්දියාවට ද එම පණිවුඩය ලබාදුන් බව එම කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේය.

    වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව හා වරාය කාර්ය මණ්ඩලය අවට කලාපයේ යාත්‍රා කරන නැව්වලට පණිවුඩය ලබාදී සහන සේවා සඳහා අවශ්‍ය තත්වය සකස් කර තිබේ.

    අනතුරුව ඉන්දියාව එම ප්‍රදේශයට තම නෞකා හා ගුවන් යානා යොමු කර ඇත්තේ නුදුරින් පිහිටි අන්දමන් හා නිකොබාර් දූපත්වල සිටයි.

    දැන් එම නෞකාව පිළිබඳ සියලු මෙහෙයුම් ඉන්දියානු ගලවා ගැනීම් හා සහන සේවා කලාපය තුළ සිදු කෙරෙන අතර සිංගප්පූරුවෙන් පැමිණි ටග් යාත්‍රා මගින් එය ඇදගෙන යනු ලබයි.

    Latest News