ලන්ච් ෂීට් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය

ජූනි 22, 2021

    මෙරට භාවිත කෙරෙන සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    2016 දී එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලන්ච් ෂීට් තහනම් කිරීම සඳහා පියවර ගෙන තිබුනත් ඉක්මණින්ම දිරාපත්වන ලන්ච් ෂීට් Biodegradable lunch sheet හඳුන්වා දෙන බවට ඇතැම් සමාගම් විසින් පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුනත් එම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    දැනට ලෝකයේ කිසිදු රටක ලන්ච් ෂීට් භාවිතා කරන්නේ නැති අතර ලන්ච් ෂීට් භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාවයි.

    දැනට තිබෙන තොරතුරු අනුව ප්‍රධාන සමාගම් 04ක් විසින් මාසයකට ලන්ච් ෂීට් ටොන් 07ත් 08ත් දක්වා ප්‍රමාණයක් නිපදවනු ලබයි. ඒ අනුව වාර්ෂිකව ලන්ච් ෂීට් ටොන් 106ක් පමණ මෙරට තුළ භාවිතා කෙරේ. ඒ අනුව දිනකට අප රටේ පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා තිබේ.

    මෙම ලන්ච් ෂීට් පසෙහි දිරාපත් වි නොපෙනී යාම වසර දෙක තුනකින් සිදු වේ. එසේ වුවද, ලන්ච් ෂීට් නිසා පසට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පවතින බව විද්‍යාත්මකව සනාථ වී තිබේ.

    ලන්ච් ෂීට් වෙනුවට විකල්ප හඳුන්වා දීම සඳහා පියවර ගන්නැයි අදාල සමාගම්වලට උපදෙස් දී ඇතත් ඔවුන් ඒ සඳහා පියවර ගෙන නැත. එමෙන්ම ඇතැම් සමාගම් විසින් ලන්ච් ෂීට් නිපදවන යන්ත්‍ර ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම නිසා මේ රටේ නිපදවන ලන්ච් ෂීට් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවක් ද පවතී.

    මින් පෙර ලන්ච් ෂීට් තහනම් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබු බැවින් නව ගැසට් පත්‍රයක් පළ කිරීමෙන් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් ද ඇතැයි කී අමාත්‍යවරයා ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට අදාල පියවර ගන්නැයි අමාත්‍යාංශයේ අදාල අංශවලට උපදෙස් දුන්නේය.

    මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරින් ද සහභාගි වී සිටියේය.

    Latest News