'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ දේශීය නියෝජිත සමාගම් සභාපතිට ඇප

ජූනි 16, 2021
    එක්ස්ප්‍රස් පර්ල්නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම නෞකාවේ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.
    අර්ජුන හෙට්ටිආරච්චි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කර තිබිණ.
    අනතුරුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සැකකරුගේ ළඟම ඥාතියෙකු නොවිය යුතු බවට ද නියෝග කළේය.
    සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා මෙන්ම ගුවන් තොටුපොළවල් හා සියලු වරායන් වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.
    සැකකරු වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී විනිසුරුවරයා විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කරනු ලැබීය.
    අනතුරුව පැමිණිල්ල ජූලි මස 01 වනදා කැදවීමට ද නියම විය.  
     
     
    Last modified on බදාදා, 16 ජූනි 2021 16:59

    Latest News