හෙට සිට වර්ණ 11ක නව ස්ටිකර් ක්‍රමවේදයක්

ජූනි 06, 2021

    හෙට සිට (07) සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ පැහැදිළි කළේය.

    ඒ අනුව,

    කොල වර්ණය - සෞඛ්‍ය සේවාවලට සම්බන්ධ වාහන
    ලා නිල් වර්ණය - ත්‍රිවිධ හමුදා, පොලිස් වාහන
    දම් වර්ණය - පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන වාහන
    ලා දුඹුරු වර්ණය - ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්‍රයට අයත් පිරිස්
    කහ වර්ණය - අත්‍යවශ්‍ය සැපයුම් වාහන
    රතු වර්ණය - අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම්
    තැඹිලි වර්ණය - මාධ්‍ය සහ සන්නිවේදන ආයතන
    සුදු වර්ණය - විදේශගතවීම් සම්බන්ධ කටයුතු
    කළු වර්ණය - මානුෂීය හේතූන් (අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම)
    අළු වර්ණය - පිසූ ආහාර සහ ඩිලිවරි සේවා
    රෝස වර්ණය - රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී

    මේ ස්ටිකරය නැවත සංචරණ සීමා ඉවත් කරන තුරුම වලංගු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පවසන්නේ. අදාළ ස්ටිකරයේ වාහනයේ ගමන් කරන පුද්ගලයින් සංඛ්‍යාව සඳහන් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, ආයතනය විසින් නිකුත් කර ඇති ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම ස්ටිකරය නිකුත් කරන බවත් ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා කල්වේලා ඇතුව පැමිණෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    "හෙට මාර්ගවල පැමිණෙන විට ඔබට යම් දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය වෙයි සෞඛ්‍ය සේවා වාහන කියලා. එවිට එම කොටසේ ඔබ ගමන් කළ යුතුයි. එවිට තදබදය තවත් අඩු කරගන්න පුළුවන් වෙයි.හෙට දිනයේ එම ස්ටිකරය ලබා ගැනීමට නොහැකි වූ පිරිසට අනිද්දා දිනයේත් එය ලබාගැනීමේ හැකියාව තිබෙනවා."

    Latest News