සරත් එන්. සිල්වාගේ නඩුව මැයි 8ට කල් යයි

පෙබ 07, 2019

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අද(07) සිදුකෙරිණ.

    එම පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ඉවත්වීම නිසා එම පෙත්සම සලකා බැලීම මැයි මස 8 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.

    ප්‍රියන්ත ජයවර්ධන, මුර්දූ ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙය කැඳවනු ලැබූ අතර මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම සළකා බැලීමට අකමැත්ත පළ කරන බවයි.

    තවද මෙම පෙත්සම සලකා බලන අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා නීතිඥවරුන්ගේ අසුන් පෙලේ අසුන් ගෙන ඇත. ඊට විරෝධය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ කබායක් පැලඳීමකින් තොරව සරත් එන්. සිල්වා නීතීඥවරු අසුන් ගන්නා අසුනේ වාඩි වීමට හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇත. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ප්‍රතිචාරයක් පළ කොට නොමැත.

    ඉකුත් ඔක්තෝම්බර් මස 18 වනදා කොළඹ පැවති මහජන රැලියකදී අදහස් දැක්වූ සරත් එන්. සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර, හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඒ අනුව සරත් එන්. සිල්වා අධිකරණයට අපහාසයක් සිදු කරන බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

    Latest News