සයිනොෆාම් එන්නත ලබාදීම අද පානදුර දී ඇරඹේ

මැයි 08, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත අද සවස 2.00 සිට මෙරට ජනතාවට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    එය ආරම්භ කෙරුණේ, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්. සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඊයේ හිමි විය. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 රෝගය මැඩලීමට මේ වන විට හදිසි භාවිතය යන උපදේශය යටතේ එන්නත් 6කට අනුමැතිය ලබා දී තිබේ. සයිනොෆාම් එන්නත එහි හයවැන්නයි.

    බටහිර නොවන රටක් තනිව නිෂ්පාදනය කළ එකම එන්නත මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් මේ එන්නත පිළිබඳ පුළුල් විමර්ශනයක් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා චීන එන්නතක් අනුමත කළ ප්‍රථම අවස්ථාව මෙයයි. එම සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නත ලොව පුරා ජනතාවට ලබා ගැනීමේ අවස්ථාව ද මේ අනූව හිමිව ඇතැයි, එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ආදනම් ප්‍රකාශ කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ උපායමාර්ග විශේෂඥ උපදේශක කමිටුවේ සභාපති ඇලෙජාන්ඩ්‍රො ක්‍රාවීටෝ පෙන්වා දෙන්නේ, එන්නතේ ආරක්ෂාව හා කාර්යක්ෂමතාව සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු ලැබී ඇති බවයි. එන්නත පහසුවෙන් ගබඩා කිරීමට හැකිවීම විශේෂත්වයක්. එබැවින් එන්නත දුප්පත් හා අඩු සම්පත් සහිත රටකට වුවද සුදුසු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

    ඒ අනූව අඩු හා මධ්‍ය ආදායම් ලාභී රටවල භාවිතයට ද මෙය සුදුසු වෙයි. සයිනොෆාම් එන්නත වයස අවුරුදු 18ත් 59ත් අතර පුද්ගලයන් සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ. වෛද්‍ය උපදෙස් මත 60 හෝ ඊට වැඩි පුද්ගලයන්ට මෙය යොදා ගත හැකි ක්‍රියාමාර්ගයක් ද ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වුවද 60ට වැඩි පුද්ගලයන් සඳහා මෙය යොදා ගැනීම සම්බන්ධයෙන් තවමත් සායනික අත්හදාබැලීම් සිදු කෙරේ.

    චීන රජය ප්‍රකාශ කරන්නේ, එන්නත් දෙකෝටි හතළිස් ලක්ෂයක් පමණ නැව් ගත කිරීමට සූදානමින් සිටින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ සඳහා තම දායකත්වය ලබා දෙන බව ද චීන රජය ප්‍රකාශ කරයි.

    සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉකුත් මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකාවට මහජන චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී තිබේ. චීන රජයේ ඉල්ලීමකට අනූව මෙරට වෙසෙන චීන ජාතිකයන්ට එය පළමුවෙන් එන්නත් කෙරිණ. ඒ අනූව, මාත්‍රා දෙක බැගින් චීන ජාතිකයන් තුන් දහසකට සයිනොෆාම් එන්නත ලබා දී තිබේ.

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 12:16

    Latest News