දිස්ත්‍රික්ක 25ටම නාගරික වන වගාවක් සමඟ ඇවිදින මංතීරු...ඇමති නාමල්

මාර් 31, 2021

    දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදින මංතීරු සමඟ නාගරික වන වගාවන්  (Urban Gardens) 25ක් ඉදි කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (30) දින පැවසීය.

    ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරිත්වය සහ ඒ සඳහා අනුහුරුවීමේ හැකියාව පිළිබඳ තාරුණ්‍යයේ සහභාගිත්වය යටතේ කොළඹ පැවති ජාතික සංවාදයට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා... 

    දේශගුණික විපර්යාස යනු අපේ කාලයේ වඩාත්ම දැවෙන ගැටලුවක්.

    වර්තමාන තරුණ ප්‍රජාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත්භාවය සඳහා තරුණ ප්‍රජාවේ භූමිකාව හඳුනාගෙන කටයුතු කළ යුතුයි.

    පරිසරයට කාබන් මුදාහැරීම,රසායනික පොහොර ‍භාවිතය,අධික විදුලි පරිභෝජනය වර්තමානය වනවිට වැඩි  වී තිබෙනවා. මෙවැනි කාරණා පිළිබඳ නැවත සිතා බලා ඒවා අවම කරගැනීමට කටයුතු කළ යුතුයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ මේ වනවිට පුනර්ජනනීය බලශක්තියෙන් අපගේ බලශක්ති පරිභෝජනය 70% ක් සහ කාබන් පරිසරයට මුදාහැරීම අවම කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

    කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු කරමින් එම අස්වැන්න ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කළ හැකියි.

    ඒ සඳහා කාබනික පෙහොර භාවිතයට අපි හුරුවිය යුතුයි.වර්තමානයේ මැදපෙරදිග ලෝකය කලාපයේ Green Economy /Blue Economy  සම්බන්ධව කතා කරන අතර ඒ තුළ මිලියන ගණනින් රැකියා උත්පාදනය පිළිබවත් එම සෑම කර්තව්‍යයක් තුළම ප්‍රමුඛව ආර්ථික වාසි පිළිබඳවත් සාකච්ඡා කරනවා.

    මීට දශක ගණනකට පෙර සිදුවූ පරිසර විනාශයේ වින්දිතයන් වන අපි පරිසරය ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා වැඩ පිළිවෙලක් නිර්මාණය  කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය  දේශපාලන නායකත්වය අප ලබාදෙනවා.

    දිස්ත්‍රික්ක 25 තුළම ඇවිදින මංතීරු සමග නාගරික වන වගාවන් 25 ඉදි කරනවා. ඒ තුළ ක්‍රියාශීලි සමාජයක් සහ නීරෝගී දරු පරපුරක් රටට ලෝකයට දායාද වනවා.

    ඒ සමඟම වන සතුන්ගේ හා මිනිසාගේ පැවැත්ම අරක්ෂා කළ යුතුයි. පරිසර පද්ධතිය ආරක්ෂා කර රටට ආදරය කරන තරුණ පිරිස පරිසරය සුරැකීම සඳහා  නිවැරදිව පෙළගැස්විය යුතුයි.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අප බිහි කරන තරුණයා ගහකොළට සතා සීපාවාට ආදරය කරන අනාගතවාදීව සිතන්නෙකු විය යුතුයි. එම ගොඩනැගීම තුළ අනාගතය පරම්පරාව පරිසරයට ආදරය කරන සහ එහි ඵල දරන දරු පිරිසක් බවට පත් වේ යැයි මා විශ්වාස කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සහ SLYCAN Trust ආයතන එක්ව සංවිධානය කරන ලදි.

    Latest News