ශ්‍රීලනිප මීලඟ අපේක්ෂක මෛත්‍රී; දුමින්දගේ යෝජනාව සම්මතයි

පෙබ 01, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂක ජනපති මෛත්‍රීපාල සිරිසේන බවට යෝජනාවක් එම පක්ෂයේ ප්‍රතිසංවිධාන රැස්වීමේදී අනුමත වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට යෝජනාවක් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කර තිබේ. අනුරාධපුරයේ පැවති එම පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීමේදී සිදු කළ යෝජනාව අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලය නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින් සියලු දෙනා අනුමත කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් එම අවස්ථාවට එක්විය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක - 

    "අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු ආසන සංවිධායකවරු, කොට්ඨාස මන්ත්‍රීවරු, අපේක්ෂකවරු හා ආසන බලමණ්ඩල සියල්ලම, පක්ෂය විසින් ඉදිරිපත් කළ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට පොරොන්දු වෙනවා.  ඒ වගේම දැන් බොහෝ විට තදින් කථා කරන මැතිවරණයක් තමයි ජනාධිපතිවරණය. ඒ නිසා අපි අනුරාධපුර දිස්ත්‍රික් බලමණ්ඩලය විදිහට  විශේෂ යෝජනාවක් ගේනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනා කරනවා." යනුවෙන් පැවසීය.

     

    දුමින්ද දිසානායක මහතා සිදු කළ එම යෝජනාව තමන් ස්ථිර කරන බව හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය. පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල නියෝජිතයින් හා දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයන් අත ඔසවා එම යෝජනාව අනුමත කරන බව ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 16:47

    Latest News