ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් (වීඩියෝ)

මාර් 15, 2021
  • පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

    බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අඅග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය. දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශවයකට අවාසියක් සිදු නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශවයක් සහ බැංකු පාර්ශවයන්ට අතර මැදිව දෙපැත්තටම සාධාරණයක් සිදුවන ආකාරයේ ගැටලු විසඳාදෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යතුමා ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන්නැයි පැවසීය. ඒ ඔස්සේ ලීසිං ඇතුළු එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන, ප්‍රදේශිය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වී.ඒ.ඒ.එන්. ද සිල්වා, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගීතා විමලවීර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 19:59

    Latest News