සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්

නොවැ 19, 2020

    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම් බල පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළේය.

    මෙම නඩුවේ විත්තිකාර අභියාචකයින් දෙදෙනා ජ්‍යෙෂ්ඨ රජයේ සේවයේ නිලධාරීන් බව සඳහන් කළ විනිසුරුවරිය ඉදිරිපත් වන සාක්ෂි හා ලේඛන විශ්ලේෂණය කිරීමේදී එම සිද්ධියට අදාළව ඔවුන් වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුකළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව සඳහන් කළේය.

    ඒ අනුව සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණු අධිචෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබිණ.

    එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 20 ක් බැගින් දඩ මුදල් ද ගෙවන ලෙස කොළඹ මහාධිකරණය තීන්දු කළේය. 

    ඊට අමතරව විත්තිකරුවන් විසින් රුපියල් ලක්ෂ 500 ක් බැගින් වන්දි ගෙවිය යුතු යැයි ද එවක කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් දුන් තීන්දුවේ සඳහන් කර තිබිණ.

    තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම් ගොණුකර තිබිණ.

    එම අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 නොවැම්බර් 2020 11:27

    Latest News