අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

දෙසැ 26, 2020

    ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් අදාල පත්වීම් ලිපි පසුගියදා අනූෂ පැල්පිට මහතා වෙත ලබාදුන්නේය. ඒ ජනාධිපති කාර්යාලයේ දී. විගණන පරීක්ෂකවරයෙක් ලෙස 1987 වසරේ රාජ්‍ය සේවයට එක්වන අනූෂ පැල්පිට මහතා 1990 දී ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට එක්විය. ඔහු ශ්‍රී ලංකා රේගු සේවයට එක්වන්නේ 1993 වසරේදී. 1995 වසරේ දී පරිපාලන සේවයට එක්වන ඒ මහතා රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු රැසක් හොබවා තිබේ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස 2001 වසරේ කටයුතු කළ ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට ද සැලසිනේ ආයතනයේ නිසි බලධාරියාද, ලංකා පුවත්පත් ආයතනයේ සභාපති ධුරය ද පැල්පිට මහතා හොබවා තිබේ.

    විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා මෙරට දැවැන්ත ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට පුරෝගාමී විය.

    පසුගිය යහපාලන රජය සමයේ අතහැර දැමූ හම්බන්තොට සූරියවැව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය එවැනි ව්‍යාපෘතියක්.

    ‍කොළඹ නෙළුම් කුළුණ,කොකාවිල් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වැනි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණේ, අනූෂ පැල්පිට මහතා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ සමයේ. නමුත් 2015 වර්ෂයේ පත්වූ යහපාලන රජය,පැල්පිට මහතා රාජ්‍ය පරිපාලන සංචිතයට මාරු කරනු ලැබීය. 2016 වර්ෂයේ දී එතුමාට රාජකාරී වැඩතහනමක් පැනවූයේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදාදීම සඳහා කටයුතු කර ඇති බවට චෝදනා කරමින්. ඒ අනූව, 2017 ව‍සරේ දී කොළඹ මහාධිකරණය විසින් අනූෂ පැල්පිට මහතාට වසර 3ක සිර දඩුවමක් නියම කළේය. එහෙත් ‍එම වසරේ දී ඇප මත නිදහස් කෙරුණු ඒ මහතා අදාළ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබීය. වසර 3කට වැඩි දීර්ඝ නඩු විභාගයකින් පසු පසුගිය නොවැම්බර් 19 වැනිදා අනූෂ පැල්පිට මහතා අභායාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. එහිදී අධිකරණය කියා සිටියේ, අනූෂ පැල්පිට මහතාට සහ ලලිත් වීරතුංග මහතාට චෝදනා එල්ල කිරීම සඳහා කිසිඳු නඩු නිමිත්තක් නොමැති බවයි.

    ඒ අනූව වසර 6කට වැඩි කාලයක් අනූෂ පැල්පිට මහතාට රාජ්‍ය සේවයෙන් ඉවත්ව සිටීමට සිදුවිය. කීර්තිමත් පරිපාලකයෙක් වූ ඒ මහතා ලබන ජනවාරි පළමු වැනිදා සිට කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රාජකාරී අරඹනු ඇති.

    Latest News