ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබාදිමට සුදානම් - ශ්‍රි ලංකාවේ තුර්කි තානාපතිනි

මාර් 12, 2021

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70% ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" වෙනුවෙන් විදුලිබල අමාත්‍යාංශයේ ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබාදිමට සුදානම් බව ශ්‍රි ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ස්ර්කෘෂියාග්ලූ (Demet Sekercioglu) මහත්මිය අවධාරණය කරයි.

    පසුගියදා විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග නිල සාකච්ඡාවකට සහභාගී වෙමින් තුර්කි තානාපතිවරිය මෙම අදහස් පළකරන ලදි. මෙම නිල සාකච්ඡාව සදහා විදුලිබල අමාත්‍යාංශ ලේකම්, වසන්තා පෙරේරා මහත්මිය ද සහභාගි විය.

    දෙරට අතර දීර්ඝ කාලයක් සිට පැවතඑන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ අනාගත සැලසුම් සහ සංවර්ධන ක්‍රමෝපායන් පිළිබදව විදුලිබල අමාත්‍යවරයා සහ තුර්කි තානාපතිනිය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේදී කරුණු දක්වමින්, ජාතික විදුලි ජනනයට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ඉහළ නැංවිමත්, වසර 2025 වනවිට විදුලිබල උත්පාදනයට ඩීසල් දායකත්වය 5% ක් දක්වා පහත හෙලීමත්, වසර 2030 දී එය මුළුමනින්නම නවතා දැමීමට සැලසුම් කරන බවත් පැවසූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ඒ වෙනුවෙන් දැනට පවතින පුනර්ජනනීය මූලාශ්‍රයන් සංවර්ධනය කිරීමට හා නව මූලාශ්‍රයන් ගවේශනය කිරීමටත් සැලසුම් කරමින් සිටින බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, මෙරට තුළ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ස්ථාපනය සදහා තම රටේ රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශ ආයෝජකයන්ගේ අවධානය යොමුකරවීමට අදහස් කරන බව පැවසු තුර්කි තානාපතිනි, ඉදිරි කාලය තුලදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම වෙනුවෙන් පුද්ගලික ආයෝජකයන්ද සම්බන්ධ කරගැනීමට අදහස් කරන බවද පැවසිය.

    Latest News