නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ 24 දෙනෙක් නාවික හමුදා භාරයට

මාර් 12, 2021

    නාවික හමුදාව කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ ඊයේ (11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    වයඹ නාවික විධානය මඟින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ කල්පිටිය කළපුවට ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් තුල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී , එම ලොරි රථයේ රියදුරු සමඟ පුද්ගලයින් 24ක් රැදී සිටින බවත්, ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් කල්පිටිය කළපුව ඔස්සේ යාත්‍රාවක් පැමිණෙනතෙක් එලෙස රැදී සිටින බවත් අනාවරණය වූ බැවින්, එම පුද්ගලයින් පිරිස සහ ලොරි රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 24 දෙනා අතුරින් පිරිමි පුද්ගලයින් 20ක්, කාන්තාවක් (01) කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් (02) සහ කුඩා පිරිමි ළමයෙකු (01) විය. මෙම පිරිසෙන් පුද්ගලයින් 09 ක් මඩකළපුව ප්‍රදේශයේද, 06 දෙනෙකු යාපනය ප්‍රදේශයේද, 05 දෙනෙකු මුලතිව් ප්‍රදේශයේද, 03 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේද, ලොරි රථයේ රියදුරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටද හඳුනා ගන්නා ලද අතර, මෙම නීති විරෝධී මිනිස් ජාවාරම මෙහෙයවන ලද පුද්ගලයාද මෙම පිරිස අතර සිටින බවට නාවික හමුදාව සැක කෙරේ.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිස සහ ඔවුන් පැමිණි ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදු කිරීමට උත්සාහ කරන මෙවැනි නීති විරෝධී සංක්‍රමණික කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

    Latest News