කාදිනල් හිමියන් ගොනුකළ පෙත්සමක් මාර්තු 31 කැඳවීමට නියෝග

මාර් 05, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළා.

    මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ ද? එම විමර්ශනවල වත්මන් තත්ත්වය කෙසේ ද? යන්න පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය ඒ පිළිබඳව මේ මස 31 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය ට දැනුම් දුන්නා.

    මෙහිදී පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කොමිසමේ වාර්තාව ඉකුත් දා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තම සේවාදායක හිමිපාණන්ට ලබාදුන් බව සදහන් කළා.

    එමෙන්ම අදාළ කඩු තොගය පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් අධිකරණය හමුවේ කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

    ඉන් කඩු 600 ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර ඒවා මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළි ව තිබෙන බව ද පෙත්සමෙන් පෙන්වා දෙනවා.

    ඊට අමතරව තවත් කඩු 5400ක් පමණ මේ වනවිට රට තුළ නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි කියා සිටින්නේ.

    මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ආරක්ෂක ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවද පෙන්වා දුන් කාදිනල් හිමිපාණන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    Latest News