ආදිවාසී නායකයා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

මාර් 05, 2021

    සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම අදාළ විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා වනජීවී අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට අභියාචනාධිකරණය විසින් අප්‍රේල් මස 23 වනදා දක්වා කල් ලබා දුන්නා.

    මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

    එම අවස්ථාවේදී වනජීවී අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට පාදක වන බිම් ප්‍රදේශය තුළ පිහිටි කැළෑ හෙළි කිරීමක් මේ වන විට සිදු නොවන බවයි.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ආර්.එන්.ඒ. ප්ලාන්ටේෂන් සමාගම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා ද අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් අපනයනය සඳහා බඩ ඉරිඟු වගාවක් සිදු කරන බවත් ඒ සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර 500 ක ඉඩමක් වෙන් කර තිබෙන බවයි.

    මෙම ඉඩම් සංරක්ෂිත කැලෑ නොවන බව පෙන්වා දුන් එම නීතිඥවරයා ඒවා කලකට පෙර හේන් ගොවිතැන් සඳහා යොදාගෙන අතහැර දමා තිබෙන ඉඩම් බවත් පැවසුවා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 03 වනදා කැඳවීමට නියම කළ අතර පෙත්සමට විරෝධතා තිබේ නම් ඒවා අප්‍රේල් මස 23 වනදාට පෙර ගොනුකරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළා.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට අයත් ගම්බිම්වල පිහිටි ගස් කපා ඉවත් කිරීම වැළැක්වීමේ කිසියම් හෝ තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණ දන්වා සිටියේ එවැනි ආකාරයේ හෙළිපෙහෙළි කිරීමත් එම ප්‍රදේශවල සිදු නොවන බවයි. ඒ අනුව අධිකරණය විසින් තහනම් නියෝග කිසිවත් නිකුත් කළේ නැහැ.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක , පරිසර අමාත්‍යාංශයේ ලේකම් වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ ශතවර්ශ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාල බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගා කිරීම සඳහා පුද්ගලික සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවයි.

    ඒ යටතේ අක්කර පන්දාහකට අධික සිය පාරම්පරික ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් මතුව තිබෙන බව ද ආදිවාසී නායකයා සඳහන් කරනවා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල පාරිසරික හානියක් මතුවීමේ අවදානමක් උද්ගත වී තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

    මේ තුළින් තම ජීවිනෝපාය කටයුතුවලට මෙන්ම වගාබිම්වලට ද දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දෙන ආදිවාසී නායකයා මහවැලි අධිකාරිය විසින් ගනු ලබන මෙම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News