රන්ජන්ගේ ප්‍රකාශයේ මුල් වීඩියෝ සිතා මතා මැකුවේද (විඩියෝ)

ජන 28, 2019
  • අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදී.

    සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගය පැවැත්විණි. වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පෙනී සිටියි.

    මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවානගේ මෙහෙයවීම යටතේ සිරස newsfirst ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් සාක්ෂි ලබාදීම සිදු කළේය.

    සුමන්තිරන් මහතා මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය තම ආයතනය වෙත ලැබුණු බවත් එය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කළ බවත් සාක්ෂිකාර ගයාන් සම්පත් මහතා කියා සිටියේය. මෙම ප්‍රකාශය විකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුවන්නේ ද යන්න පිළිබඳව තමා තුළ අවබෝධයක් නොතිබූ බවත් එය අනෙකුත් මාධ්‍ය ඔස්සේ ද විකාශය කරන බවද සඳහන් කර සිටියේය.

    සුමන්දිරන් මහතා ප්‍රශ්නයක් මතු කරමින් මෙම ප්‍රකාශයට අදාළ මුල් වීඩියෝ පටය සිතා මතාම ඔබ විසින් මකා දමා තිබෙනවා නොවේදැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. එය ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරු ප්‍රවෘත්තිවලට සම්බන්ධ යම් වීඩියෝවක මුල් පිටපත දින හතකින් පසුව මකා දැමීමක් සිදුවන බව ප්‍රකාශ කළේය. එය තම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය බව ද සඳහන් කළ සාක්ෂිකරු රාමනායක මහතාගේ මෙම ප්‍රකාශයේ මුල් වීඩියෝ පටය මකා දැමීම සිතාමතා සිදුකරන ලද්දක් නොවන බව සඳහන් කළේය.

    රංජන් රාමනායක අමාත්‍යවරයා ප්‍රකාශය සිදුකළ පසුදාම මෙම නඩුව ගොනු වී තිබෙන හෙයින් එහි මුල් වීඩියෝ පටය සුරක්ෂිතව තබා ගැනීමට පියවර නොගත්තේ ඇයි දැයි විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රශ්නයකර සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ මෙම නඩු පැවරීම පිළිබඳව නිල වශයෙන් තම ආයතනය දැනුවත් වී නොසිටි හෙයින් එහි මුල් පිටපත සුරක්ෂිතව තබා ගැනීමට කටයුතු නොකළ බවයි.

    එම මුල් ප්‍රකාශය තුළ විනිසුරුවරුන්ට ප්‍රශංසාත්මක අදහස් අඩංගු කොටස් කපා දමා තිබිය හැකි බවට වගඋත්තරකාර පාර්ශ්වය මතු කරන තර්කය ගැන විනිසුරු සිසිර ආබෲ මහතා විසින් සාක්ෂිකරුගේ අවධානය යොමු කළේය. එවැනි ප්‍රශංසාත්මක කොටස් ප්‍රවෘත්ති විකාශයේදී අඩංගු නොවීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා විසින් ඔබගේ ආයතනයට කිසියම් පැමිණිල්ලක් සිදුකර තිබුනේ දැයි විනිසුරු සිසිර ද ආබෲ මහතා තවදුරටත් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තම දැනුම අනුව රංජන් රාමනායක මහතා විසින් එවැනි දැනුම්දීමක් නොකළ බවයි.

    ඉන් අනතුරුව අදාළ ප්‍රකාශය වීඩියෝ ගත කළ ලක්රුවන් වර්ණකුලසූරිය සහ වාර්තාකරු ධනංජය නාරම්බැද්ද යන අයගේ සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරිණ. වැඩිදුර විභාගය මේ මස 30 දාට කල් තැබිණ.

    2017 වසරේ අගෝස්තු මස 21 වන දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍යවලට අදහස් දැක්වූ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බවට ප්‍රකාශයක් සිදු කළේය.

    මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක් සිදු වන බවත් ඒ තුළින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් සඳහන් කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් මෙම පැමිණිල්ල මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබිණි.

    පසුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 11:37

    Latest News