දාරලුවේ දුර්ලභ ශාකය කපා දැමීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නෑ - අමාත්‍ය අමරවීර

පෙබ 09, 2021

    දාරලුවේ ක්‍රොඩියා සෙයිලනිකා දුර්ලභ ශාකය කපා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා වෘක්ෂය සම්බන්ධව මෙම දිනවල පළ වී ඇති පුවත් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට එම ගස කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    Zelanika-01.jpg

    ගාල්ල රූමස්සල සොබා කෙත පරිසර කේන්ද්‍රයේ ඊයේ(08) පැවති රුක් රෝපණ වැඩසටහනකදී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

    එම දුර්ලභ ශාකය වැනි තවත් දුර්ලභ ශාක විශේෂ රැසක් අප රටේ තිබෙනවා. එම ශාක මෙන්ම දාරලුව පිහිටි මෙම ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා මම අදාල අංශ සමඟ සාකච්ඡා කළා.

    මාර්ග සංවර්ධන අධිකාරියටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් මම ඊයේ මේ සම්බන්දව කතා කළා. මම එම නිලධාරින්ට උපදෙස් දුන්නා කිසිසේත්ම මෙම ශාකය කපා දැමීමට කටයුතු නොකරන ලෙසත් එයට විකල්ප වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව අධිවේගී මාර්ගය එම ශාකය අසලින් වෙනස් කර ඉදිකිරීම හෝ ඒ සම්බන්ධව ගැටළු පැන නගින්නේ නම් නව තාක්ෂණය යොදා ගෙන මෙම ගස ආරක්ෂිතව ගලවා සුදුසු පරිසරයක නැවත රෝපණය කිරීම සඳහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    එමෙන්ම මෙම සතිය තුළ මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියළුම පාර්ශව සමඟ දාරලුව ගොස් සාකච්ඡා කර එම ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියළුම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    Latest News