මියගිය කපිතාන්වරයාගේ හා කෝප්‍රාල්වරයාගේ දේහයන් ඉදිරි සතිය තුළ මෙරටට

ජන 27, 2019

    මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුමක නිරතව සිටිය දී, බෝම්බ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රාල්වරයාගේ දේහයන් ඉදිරි සතිය ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙනඒමට නියමිත බව, යුද හමුදාව පවසනවා.

    එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ක්‍රමවේදය අනූව එම කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි, හමුදා ප්‍රකාශය බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ.  ජීවිතක්ෂයට පත්වූ යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා පොළොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.  32 හැවිරිදි අවිවාහකයෙකු වූ ඔහු පොළොන්නරුව විජිත මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.  පවුලේ වැඩිමහල් දරුවා වූ ඔහු අඩු වයසින් යුද හමුදා සේවයට එක්වී ඉහළ තනතුරකට පත්වූ දක්ෂ නිළධාරියෙක්.  ඔහුගේ අනෙක් සහෝදරයන් තිදෙනා යුද හමුදා සහ ගුවන් හමුදාවේ සේවය කරනවා. 

    දේහය ඔහු ඉදිකරමින් පවතින පුලස්තිපුර නිවසට රැගෙන ඒමට නියමිතයි.  ඔහු සමග මිය ගිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමන් විජේකුමාර මහතා පොල්පිතිගම රාවඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  බටහිර අප්‍රිකාවේ ගැටුම් සහිත රාජ්‍යයක් වන මාලිහි ඩවුට්සා ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතව රථ පෙළකට පසුගියදා එම ප්‍රහාරය එල්ල වුණා.  පිපිරීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින් ගාඕ ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කෙරුණා.  ඔවුන් ගමන්ගත සන්නද්ධ රථයට හා ඊට පිටුපසින් ධාවනය වූ තවත් සන්නද්ධ රථයකට දැඩි හානි සිදුවී තිබේ.

    Latest News