අමාත්‍ය මහින්දානන්ද ට එරෙහිව නඩු දෙකකට දින නියම වෙයි

පෙබ 03, 2021

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩු දෙකක් වැඩිදුර විභාගය සඳහා දින නියම කෙරෙයි.

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතයේ සභාපතිවරයා වශයෙන් කටයුතුුු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුවක වැඩිදුර විභාගය මේ මස 8 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ එහි වැඩිදුර විභාගය මේ මස 8 වනදා පවත්වන බවයි.

    එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තුන්දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් සිතාසි නිකුත් කළා.

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති සමිතියේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

    මේ අතර අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 29 ක මුදලක් වැය කර කොළඹ, කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කළ තවත් නඩුවක් ජුලි මස 09 වන දා විභාගයට ගැනීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා.

    Latest News