පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට (වීඩියෝ)

පෙබ 01, 2021
  • පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමට කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබුවා.

    ජනාධිපතිතුමා වෙත එය බාර දුන්නේ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතායි. ඒ ජනාධිපති කාර්යාලයේ දී.

    2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් හෙළිවන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම් පිණිස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ 2019 සැප්තැම්බර් 22වන දිනයි.

    මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 8 දෙනෙකු මෙම ප්‍රහාර මාලාව සිදු කළේ කතෝලික දේවස්ථාන හා සුඛොපභෝගී හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථානය හා ශැන්ග්‍රිලා, කින්ස්බරි හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් තුළදී ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරුවා ගත්තා. මරාගෙන මැරෙන තවත් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවුයේ දෙමටගොඩ දී සහ දෙහිවලදී. එම ප්‍රහාරවලින් 272 ජීවිතක්ෂයට පත්වූ අතර පන්සියකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. මේ සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීම සඳහා ජනාධිපති කොමිෂන් සභාව දින 214 කාලයක් මුළුල්ලේ 457 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ විවිධ දේශපාලඥයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, ආගමික නායකයින් මෙන්ම ව්‍යසනයට මුහුණ දුන් සහ එ් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පිරිස් ඒ අතර වනවා.

    අවසන් වාර්තාව පිටු 407 ඇමුණුම් 215කින් හා වෙළුම් 6 කින් සමන්විතයි. මීට අදාළ පළමු අතුරු වාර්තාව 2019 වසරේ දෙසැම්බර් විසි වෙනි දින සහ දෙවැනි අතුරු වාර්තාව 2020-03-02 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබුවා. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කොමිෂන් සභාවේ සාමාජිකයින් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ බන්දුල කුමාර අතපත්තු අධිකරණ මාත්‍යාංශය හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්. හේරත් යන මහත්ම මහත්මීන්ද අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත බාර දීමේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සදුදා, 01 පෙබරවාරි 2021 22:30

    Latest News