මොහොමඩ් නිසාර් CIDයට භාර දෙන්නැයි අධිකරණ නියෝග

ජන 18, 2021

    මුහුණු පොත හරහා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෆසාල් මොහොමඩ් නිසාර් නැමැති ව්‍යාපාරිකයා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද බන්ධනාගාර අධිකාරීරයාට නියම කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පුද්ගලික බැංකුවක් තිබෙන මෙම සැකකරුගේ බැංකු ගිණුම් හරහා සැකකටයුතු ලෙස විශාල මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා ඔහු දින 90 ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළේය.

    ඒ අනූව එම සැකකරු තම භාරයට පත්කරන මෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී ඒ හරහා පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 625කට අධික මුදලක් සැකකටයුතු ලෙස සංසරණය වී තිබෙන බව අනාවරණය වී ඇතැයි පැවසීය.

    පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු ගෙවල් කුලී වශයෙන් මාසිකව රුපියල් 80000/- ක්ද කුලී පදනම වශයෙන් ලබාගත් වාහනය සඳහා මාසිකව රුපියල් පනස් දහසක මුදලක් ද කුලියට ලබාගත් වෙළඳ සැලක් සඳහා මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක මුදලක් ද ගෙවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසි ආදායම් මාර්ගයක් නොමැති මෙම සැකකරු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් ක්‍රියාකාරීන් මුදල් වැය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වී තිබෙන බවද පැවසුවා.

    ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

    Latest News