ගම සමග පිළිසඳර - ජනපති උහනලාතුගලට (වීඩියෝ)

ජන 09, 2021
  • ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර,උහනලාතුගල ගම්මානයේ දී අද පැවැත්වෙයි.

    ගම සමග පිළිසඳර වැඩසටහනේ පස්වැන්න මෙයයි. ලාතුගල ගම්මානය පිහිටා ඇත්තේ,අම්පාර නගරයේ සිට කිලෝමීටර් 24ක් ඈතින්. ජනහමුව වැරැන්කැටගොඩ,ලාතුගල ප්‍රාථමික විද්‍යාලයේ සංවිධාන කර තිබේ.

    ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග මෙම ගම්මානයේ ජනාවාස ආරම්භ වී ඇති බවයි, එම ජනතාව පවසන්නේ.

    අද වන විට එහි පවුල් 231ක් වාසය කරයි. වැසි ජලයෙන් සිදුකරන හේන්ගොවිතැන ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි. සේනා දළඹු උවදුරින් ගම්මානයේ ගොවීන් මේ වන විට දැඩි පීඩාවකට ලක්ව තිබේ. වනඅලි තර්ජන ඔවුන් මුහුණදෙන තවත් ගැටලුවක්.

    වනජීවී සහ වන රක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සලකණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට ලාතුගල ජනතාවට සිදුව තිබේ.

    අසනීප තත්වයක දී ප්‍රතිකාර ගැනීම සඳහා ඔවුන්ට කිලෝමීටර් 24ක් දුරින් පිහිටි අම්පාර රෝහල වෙත යා යුතුයි. ප්‍රදේශයේ ගම්මාන රැසක් ජනතාව සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා සමග 'ගම සමග පිළිසඳර' වැඩසටහනට එක්ව සිටියි.

    Last modified on සෙනසුරාදා, 09 ජනවාරි 2021 17:19

    Latest News