එක්ව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කර ගනිමු - අගමැති

ජන 01, 2021

    සමාජීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2021 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කරමිනි.

     

    අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය...

    සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරමු. නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයකි. වසර පහක කාලයක් ඇණ හිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණඅදීමට අපට හැකි විය.

    මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකිය.ලොව අන් සියලු රටවල් මෙන්ම කොවිඩ්-19 වයිරසයේ අභියෝගයට අපද මුහුණ දෙමින් සිටියි. වයිරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැයේ නිරත මෙහෙවර අපමණය.

    රජය කොව්ඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි උපරිම මැදිහත්වීමට දායක වී සිටියි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගයද සුළුපටු නැත. නව වසරේ රට හමුවේ ඇති මේ අභියෝග එක්ව ජය ගත හැකිය. දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇති වන බව ස්ථීරය. ඒ තුළ ඔබගේත් රටේත් අනාගතය සුබවාදීව දියුණු වන සෞභාග්‍යමත් දේශයක් උදාවනු ඇත. ඉතා ලඝු වූ කාරණා අරඹයා තවදුරටත් අප බෙදී වෙන්වී සිටිය යුතු නැත.

    අද අප මේ මාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ නිසා සමාජයීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැඟීමට එළඹෙන මේ නව වසර අවස්ථාවක් කර ගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු. අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගීමත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි යනුවෙන් එහි වැඩිදුරටත් දක්වා ඇත.

    Latest News