කොත්තමල්ලි මුවාවෙන් රැගෙනආ අපද්‍රව්‍ය ගැන පරිසර ඇමතිගෙන් විශේෂ දැනුම් දීමක්

දෙසැ 25, 2020

    එක්තරා පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බේසල් සම්මුති කාර්යාලයට පැමිණිළි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දින (25) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

    බේසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම සපුරා තහනම් කර තිබේ. ශ්‍රී ලංකාව ද බේසල් සම්මුතියට අත්සන් තබන ලද රටකි.

    එමෙන්ම මෙම බහාළුම් මෙරටට ගෙන්වා තිබෙන්නේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් බවත්, ඒ සම්බන්ධව යුක්රේන සමාගම විසින් මෙරට සමාගම කිසියම් රැවටීමක් කර තිබේ ද යන්න පිළිබඳව මේ වනවිට අදාල අංශ විසින් අවධානය කර ඇතත් එම කාරණාව කෙරෙහිද දැඩිව අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා පවසයි.

    මෙරට පුද්ගලික ආයතනය විසින් මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහාළුම් මෙරටට හිතාමතාම ගෙන්වන ලද්දේද, නැතහොත් ඔවුන් රැවටීමකට හසුව ඇත්ද යන්න සොයා බැලිය යුතු මෙන්ම විසඳා ගත යුතු කාරණයකි.

    මෙරට පුද්ගලික ආයතනය රවටා ඇතැයි ඔවුන් කරන ප්‍රකාශය මෙරට බලධාරින් රැවටීමට යොදන ලද උපක්‍රමයක්ද යන්නත් විදිමත් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි තිබේ.

    කෙසේ වුවද කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුලුවිය හැකිය.

    එමනිසා එම බහාලුම් සියල්ලම යුක්රේනයේ අදාල සමාගම වෙත ප්‍රති අපනයනය සඳහා කටයුතු කරන බවත්, බේසල් සම්මුති කාර්යාලයට මේ සම්බන්ධව පැමිණිළි කරන බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    Latest News