එංගලන්තයේ 60%ක් නව වයිරසයට ගොදුරු වෙලා

දෙසැ 25, 2020

    එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් - 19 වයිරසයේ නව ප්‍රභේදය වැඩි වශයෙන්ම ගොදුරු කර ගනිමින් සිටින්නේ තරුණ ප්‍රජාව බවට වාර්තා වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    එංගලන්තයෙන් දැනට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 60ක් නව වයිරස් ප්‍රභේදයට ගොදුරු වූවන් බවට වාර්තා වන බවත් එංගලන්තයෙන් මේ නව වයිරසය වාර්තාවී දින දෙකක් ගත වන විටදී ඕස්ට්‍රේලියාවෙන් නව ආසාදිතයන් වාර්තා වූ අතර, කොතරම් වේගයකින් මේ නව වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වන්නේද යන්න එමඟින් තහවුරු වන බවත් ඔහු කීය.

    මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීම යනාදී සැලසුම්වලට මේ වයිරස් ප්‍රභේදයෙන් බාධා එල්ල විය හැකි බවත් වයිරසයට එරෙහිව උපක්‍රමශීලීව කටයුතු කිරීමෙන් බාධාවන් මැඬ පවත්වා ගැනීමට හැකි වන බවත් හෙතෙම පැවැසීය.

    ලෝකයේ ව්‍යාප්ත වන මේ නව වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණ තිබේද, පැමිණ නැද්ද, ඉදිරියේදී පැමිණෙයිද කියා තවමත් කිසිදු නිගමනයක් නොමැති බවත් චීනය, නවසීලන්තය කොවිඩ් දෙවැනි රැල්ල සාර්ථකව මර්දනය කළා මෙන් අපේ රටට සුදුසු උපක්‍රම ඉක්මණින් ක්‍රියාවට නැංවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

    සමාජයේ රෝගීන් සිටින තාක් කල් වයිරසයේ අවදානම පහව නොයන්නේ යැයිද ගෝලීය වසංගතය බාධාවක් නොකර ගැනීම සඳහා ආසාදිතයන් හැකි තරම් හඳුනාගැනීම, පීසීආර් ධාරිතාව ඉහළ නැංවීම යනාදිය සිදු කළ යුතු යැයිද ඒ මහතා කීය.

    Latest News