සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවධානය (වීඩියෝ)

දෙසැ 22, 2020
  • සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට අවධානය යොමු වේ.

    සංචාරක අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නියමු ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දීමේ වැඩසටහනක් මෙම මස 26 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

    සංචාරක අමාත්‍යවරයා විසින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදුව, වත්මනේ ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීයව පවතින COVID – 19 වෛරස ව්‍යාප්තියත් විශේෂ අවධානයට හා සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් සහ අවවාද මත එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම මස 26 වැනි දා සිට ජනවාරි මස 19 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට සියල්ල සුදානම් කොට තිබෙන බව ද ප්‍රකාශ කළේය.

    එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් සහ ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම පිණිස විශේෂ සහනයක් ලබා දීමට කටයුතු කෙරෙන අතර කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබෑමේ සහ නවතා තැබීමේ ක්‍රියාවලිය සඳහා එකී කාලය තුළ ගාස්තු අයකිරීමක් සිදු නොකෙරෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 22 දෙසැම්බර් 2020 19:56

    Latest News