වනගහනය ඉහළ නැංවීමට "හුස්ම දෙන තුරු" නමින් පැළ මිලියන 02ක්

දෙසැ 17, 2020

    රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා ඉහළ නැංවීමට හුස්ම දෙන තුරු නමින් පැළ මිලියන 02ක් ඉදිරි වසර හතර තුළ රෝපණය කිරීම ආරම්භ කරයි.

    "අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා මේ රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා වැඩි කිරීමට පොරොන්දු වුනා. එම ප්‍රතිඥාව අනුව යමින් මේ රටේ වනගහනය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් මම හුස්ම දෙන තුරු තේමාව යටතේ ඉදිිර වසර 04 තුළ පැළ මිලියන 02ක් රෝපණය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා" යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ඊයේ (16) පෙරවරුවේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ දී තුන් හෙළ සංවිධානය විසින් මෙහෙයවන ලද එක් දිනයක් තුළ පැළ මිලියනයක් රෝපණය කිරීමේ වැඩ සටහන ආරම්භ විය. එම පිරිවෙණේ ලේඛකාධිකාරී පූජ්‍ය කැකුණාවල වනරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබිනි. පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩ පිළිවෙළ සංවිධානය කර තිබිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

    "ගසක වටිනාකම ප්‍රථමයෙන් ම ලොවට කියා දුන් එකම දාර්ශනිකයා අපේ බුදුන්වහන්සේයි. උන්වහන්සේ තමයි මේ ලොව තුළ පහළ වු විශිෂ්ඨතම පරිසරවේදියාත් උන්වහන්සේයි. තමන් කපා විනාශ කරන්නට එන පුද්ගලයාටත් සෙවණ සළසන ලොව අපුරුම ජීවියා ගස යැයි උන්වහන්සේ දේශනා කර තිබුනා.

    මගේ හැගීම නම් ඒ අනුව යමින් රටට ජාතියට යහපත් මාර්ගය පෙන්වන අපේ මහා සංඝරත්නයත් අද පරිසරය ආරක්ෂා කිරීමට මෙන්ම ගහකොළ වෙනුවෙන් පෙනී සිටීම අතිශයින් වැදගත් බවයි.

    හුස්ම දෙන තුරු වැඩ පිළිවෙළ තවත් සාම්ප්‍රධායික රුක් රෝපණ වැඩ සටහනක් නොවෙයි. අපි මේ පැළ රෝපණය කිරීමේ දී පාසැල්, දහම් පාසැල්, පිරිවෙණ් වැනි සියලුම ආගමික ස්ථාන යොදා ගන්නවා. ඒ වගේම ලබා දෙන පැළ රැක බලාගන්න භාරකාරයෙක් පත් කරනවා. පාසැලක නම් දුරවෙකුට අපි පැළයක් බාර දෙන්නේ එයාගේ නමින් එම පැළය රැක බලා ගැනීමටයි.

    අපි නිදහස ලැබූ දා සිට මේ රටේ බලයට පත් වුන හැම රජයක්ම රුක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කළා. ඒ යටතේ පැළ ලක්ෂ ගණනක් සිටුවන්නට ඇති. ඒවා නිසි පරිදි පැළ වුනා නම් අද මේ වනවිට අපේ රටේ මහා වනාන්තර තිබිය යුතු වෙනවා. නමුත් මිනිසුන් පරිසරය විනාශ කරමින් ගස් කපා දමමින් කරන විනාශයන් දකින විට අද මෙහෙමවත් ගස් ඉතිරිවී තිබෙන්නේ එසේ රෝපණය කළ නිසාත් වෙන්න පුලුවන්.

    හුස්ම ගන්න තුරු වැඩ සටහන මම ආරම්භ කළේ අතිගරු ජනාධිපතිතුමන් විසින් දුන් ප්‍රතිඥාව ඉටු කරන්නටයි. අපි ඉදිරි වසර 04 තුළ පැළ මිලියන දෙකක් රෝපණය කරනවා. දැනටමත් අපි පැළ 20,000ක් පමණ ගත වූ මාස දෙකට බෙදා හැර අවසන්" යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News