"ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය" ඇරඹේ

ජන 21, 2019

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ආරම්භ කෙරේ.

    ලබන 28 දක්වා එය ක්‍රියාත්මකයි. සමාරම්භක උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මුලතිව්, මුල්ලියාවෙල විද්‍යානන්ද මහා විද්‍යාලයේ දී පැවැත්වේ. දරුවන්ට සවන් දෙමු - බලගන්වමු - රැක ගනිමු යන්න වැඩසටහනේ තේමාවයි.

    මෙරටට මහත් ව්‍යවසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ. උතුරේ පාසල් සිසුන් එක් ලක්ෂ පනස් දහසක් අද පෙරවරුවේ ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ප්‍රතිඥාව ලබාදීමට නියමිතයි. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පංතිකාමර තුළ දී දරුවන් අද දැනුවත් කෙරේ. හෙට දින දෙමාපියන් පාසල වෙත කැඳවා, පංති මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීමට සැලසුම්කර තිබේ. ලබන 23 වැනි දින මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කෙරෙන අතර, ලබන 24 වැනි දින මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

    එළැඹෙන 25 වැනි දින ජනමාධ්‍ය භාවිතයෙන් පාසල් තුළ හා ඉන් පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කෙරේ. ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරෙන්නේ ද ඊට සමගාමීවයි. ලබන 26 වැනිදා ස්වෙච්චා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් ද 27 වැනි දින ආගමික ස්ථාන හා දහම් පාසල් මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවං නැංවෙනු ඇති. මත්ද්‍රව්‍ය ජවාරම් හා ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පැමිණිලි දැනුම්දීම සඳහා හඳුන්වාදුන් 1984 ගාස්තු රහිත කෙටි දුරකථන අංකය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 07:46

    Latest News