ෆුට් බෝල ගහන්නැතිව වැඩ කරන විදිහ

ජන 19, 2019

    පසුගිය දිනවල දී අපි පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළා. එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි.

    මේක අන්තවාදි විදියට එහෙට මෙහෙට තල්ලු කරලා, ෆුට් බෝලයක් වගේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට ගහන්නෙ නැතිව, අපි ඔක්කොම එකතු වෙලා දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතු යැයි, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම දෙනාටම හදවතින් රටට සාමය ගේන්න පුළුවන්, බෞද්ධගමට මුල් තැන දීලා, ඒකීයභාවය රැකගෙන, සියළු දෙනාටම මේ මගේ රට කියලා එකට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් නව ව්‍යවස්ථාව තුළින් ඇති කරන්න බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ 14, ස්ටේඩියම්ගම දහම් පාසල යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙම දහම් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යවරයා රුපියල් දසලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    දහම් පාසල තුළින් සිදු කෙරෙන්නේ සමාජයට අතිවිශිෂ්ඨ කාර්යයක්. මෙය නොමිලයේ ලැබෙන නිසා වටිනාකමක් නැතිවෙලා. අම්මලා තාත්තලා දරුවන්ව දහම් පාසලට යොමු කිරීම වෙනුවට, සල්ලි දීලා ටියුෂන් වලටනම් යොමු කරවනවා අනිවාර්යයෙන්ම. මේක තමයි අපි වෙනස්කල යුත්තේ. මේක බෞද්ධ රටක්. බෞද්ධාගමෙන් වගේම අනෙක් සියළුම ආගම් වලින් මිනිසා යොමු කරන්නේ යහපත් ජීවන රටාවකට. අපි දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීලා කටයුතු කළොත්, අපිට පුළුවන්වේවි මනුෂ්‍ය භාවයෙන් සපිරි සමාජයක් බිහි කරන්න. සමහර ප්‍රදේශවල අපේ සහෝදර පිරිස් අමනුෂ්‍යයෝ වගේ කටයුතු කරනවා. එහෙම අමනුෂ්‍යකම් වෙන්නේ දහම් අධ්‍යාපනයෙන් දුරස්වෙලා, දහම් මාර්ගයෙන් බැහැරවූ පිරිස් අතරයි. ලංකාව වගේ බෞද්ධාගමික රටක ඉවසීමෙන් කටයුතු කරන නායකයෝ, පාලකයෝ සිටින බව පසුගිය දිනවලදී අපි දැක්කා. නමුත් වෙන රටවල මෙවැනි දේවල් අවසන් වෙන්නේ යුද්ධයකින්. දැන් අපේ රටේ හැම තැනකම වාගේ සාමය පවතිනවා. අපි ඒක ආරක්ෂා කරගත යුතුයි. මෙහි ප්‍රමුඛත්වය ගන්නේ පන්සල් සහ අනෙක් ආගමික ස්ථානයන්ගෙන්. ඒ නිසා මේ වගේ දහම් පාසල් විවෘත වීම පිළිබදව අපි සතුටු වියයුතුයි. පාලකයන් වශයෙන් අපි ඒ වෙනුවෙන් ජනතාව, ආගමික නායකයන් ධෛර්යයමත් කළ යුතුයි. ඒ නිසා මෙම දහම් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය රු. ලක්ෂ10 ක මුදලක් මම මේ අවස්ථාවේ පරිත්‍යාග කරනවා" යැයි පැවසිය.

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 09:54

    Latest News