ශෂීගේ ෆස්පොට් නඩුව; ටිල්වින්ට, හඳුන්නෙත්තිට සිතාසි (වීඩියෝ)

ජන 14, 2019
  • ව්‍යාජ තොරතුරු ඉදිරිපත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එ‍රෙහි නඩුවේ සාක්ෂි දීමට ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට සිතාසි නිකුත් කෙරේ.

    එ අනුව ඔවුන් දෙදෙනාට ලබන 6 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවිණ. එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය සිතාසි නිකුත් කිරීම සිදු කළේය.

    මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය. විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම අද අවසන් කෙරිණ.

    අනතුරුව වැඩිදුර විභාගය ලබන 06 වනදාට දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලිසිය විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 09:12

    Latest News