ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපති අපේක්ෂාවට සියලුදෙනාගේ සහය

නොවැ 10, 2019

    ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපති අපේක්ෂාවට සියලුදෙනාගේ සහය හිමිව ඇති බව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පෙන්වා දෙති.

    උතුම් ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපේක්ෂාව සියලුදෙනාගේ සහායෙන් මේ වන විට සාර්ථකත්වය අත්කර ගනිමින් තිබෙන බව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ ස්වාමින්වහන්සේලා පෙන්වා දෙති. ජාතික උරුමයක්ව පවතින ථෙරවාදී පාලි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරමින් යුනෙස්කෝ මතක ලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදී උන්වහන්සේලා මේ බව පෙන්වා දුන්හ.

    අධර්මවාදී බලවේගවලින් ත්‍රිපිටක ධර්මය ආරක්ෂාකර ගනිමින් එය ජාතික උරුමයක් බවට පත් කිරීම ඉතා වැදගත් මෙන්ම අගය කළ යුත්තක් වන අතර, මේ රටේ කිසිදු නායකයෙකු නොකළ ඒ උදාර කාර්යය ඉටුකළේ වත්මන් ජනාධිපතිවරයා බව ද උන්වහන්සේලා පෙන්වා දුන්හ.

    1992 දී යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කළ ලේඛනගත උරුමය ආරක්ෂා කරගැනීමේ ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුව, වත්මන් ජනාධිපතිතුමා විසින් ත්‍රිපිටකය සංරක්ෂණය කිරීම සඳහා නිකාය භේදයකින් තොරව විද්වත් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත්කොට ඇති බවත්, ඉන් ආදි කාලයේ සිට පැවත එන ත්‍රිපිටකයේ පද බෙදීම්, අර්ථ, නිවැරදිව ඉදිරියටත් සංරක්ෂණය කිරීම සඳහා මෙම සංරක්ෂණ මණ්ඩලය මඟින් කටයුතු සිදුවන බවත්, පූජ්‍ය මකුලැවේ සුදස්සන නායක හිමිපාණෝ මෙම මාධ්‍ය හමුවේ දී පැවසූහ.

    ලොව රටවල් 167 ක ලෝක උරුම 1121 ක් යුනෙස්කෝව විසින් ලෝක උරුම ලෙස නම් කර ඇති අතර ඒවා විවිධ සිද්ධස්ථාන ‍‍ඓතිහාසික ස්මාරක වැනි දෑ වන නමුත්, ත්‍රිපිටකය ධර්මයක් වන බැවින් ධර්මය අස්පර්ශිත වන නිසා එවැනි දෙයක් ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ දී විවිධ බාධා මතු ව ඇති බවත් මෙහිදී කියැවිණි. එමෙන්ම ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සැමට පරිශීලනය කළ හැකි වටපිටාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද මෙහි දී සඳහන් කරන ලදී.

    ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත සැකසීම සඳහා ජනාධිපතිතුමා විසින් විද්වත් කමිටුවක් ද පත්කරන ලද අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන පූජ්‍ය මහාචාර්ය මැදගම්පිටිය විජිත ධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම කමිටුව මගින් සකස් කෙරුණු ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව පසුගියදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    විද්වත් කමිටුව විසින් පසුගිය මාස 05ක කාලය තුළ සිදුකරන ලද සමීක්ෂණ හා විද්වත් වාර්තා පරිශීලනයෙන් අනතුරුව දැනට පුස්කොළ පොත් ත්‍රිපිටකය ඇති ස්ථාන හදුනාගෙන තිබෙන අතර ඒවා සංරක්ෂණය කිරීමට අදාළ යෝජනා ද අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබදව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කිරීම සිදු විය.

    අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුජ්‍ය අක්මීමන ධම්මපාල නායක හිමියන්, වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල, මහාචාර්ය චන්දිම විජයබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියවසම් යන විද්වත් මණ්ඩලයක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී විය.

    Latest News