පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද මුල්වරට සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් සොයන තමන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිම සිදුවීමම සතුටට කරුණක් බවයි.
කෙසේ වෙතත් ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුරු පිළිබද තමන් එක දුරකතන ඇමතුමකින් හෝ දැනුවත් කළානම් මෙම ප්‍රහාරය වලක්වා ගන්න ඉඩ තිබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවෙව් වැඩිදුරටත් සදහන් කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සදහා අද කොමිසමට පැමිණියේ පළමු දිනටයි.
පෙ.ව 9.40 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණි අතර හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීමට සවන්දීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පා.ම සුරේන් රාඝවන් මහතා එක්ව සිටියා.
එසේම පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීමට සවන්දීමට අද ජනාධිපති කොමිසමට පැමිණ තිබුණා.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටියේ ඔබ මීට පෙර අධිකරණයක් ඉදිරියේ සාක්ෂි දී ඇත්ද යන්නයි.
එයට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ නැත යනුවෙන්.
ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින මෙරට තුළ ත්‍රස්තවාදින් විසින් ප්‍රහාර මලාවක් ක්‍රියාත්මක කළ අවාථාවේදි ඒ පිළිබද සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කළේද යන්නයි.
එයට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,
" පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන විට මම හිටියේ සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින්. රෝහලෙන් පිටවී මම රැදී සිටි හෝටලයට පැමිණිමත් සමගම තමයි මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මට කිව්වේ ලංකාවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. පස්සේ මම පිලිවෙළින් හිටපු ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අමතලා රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම, ඇඳිරි නීතිය පැනවීම සහ ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නා. " යනුවෙන්.
එසේම ඔහු වැඩිදුරටත සාක්ෂිදෙමින් කියා සිටියේ " ප්‍රහාරය සිදුවුවේ කෙසේදැයි සොයාබලන්න කමිටුවක් පත්කරන්න මම සිතුවේ සිංගප්පුරුවේ සිටියදීමයි. මම ජනාධිපති ලේකම්වරයාට කිව්වා වහාම මේ පිළිබද සොයා බලා සති දෙකකින් වාර්තාවක් ලබාදෙන්න යැයි නියෝගකරලා ජනාධිපති කමිටුවක් පත්කරන්න කියලා. කමිටුවේ සමාජිකයිනුත් ලේකම්වරයටම තීරණය කරන්න කිව්වා. මොකද කළින් දවසෙත් රෝහල් ගත වෙලා හිටිය නිසා මගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක තිබුනේ නැහැ. පිපිරීම් සිදුවුන දවසේ රෑ 10ට විතර තමයි ලංකාවට එන්න Flight එකක් තිබුනේ. ලංකාවට එද්දි රෑ 12 ට වගේ ඇති. පසුවදා ජාතික ආරක්ෂක කවුන්සලය කැදවලා තිබ්බා. එතනදි මම ප්‍රහාරය ගැන සොයන්න පත්කරපු ජනාධිපති පරික්ෂණ කමිටුවේ සමාජිකයින්ට පත්වීම් දුන්නා. එක තමයි මලල්ගොඩ කමිටුව. මලල්ගොඩ කමිටුවේ නිර්දේශ මත තමයි අද දින මම මේ සාක්ෂි ලබාදෙන ජනාධිපති කොමිසම් සභාව පත්කළේ. ඒ 2019 සැප්තැම්බර් 21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ " ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔබතුමා දරන්නේ කුමන අදහසක්ද " යන්නයි.
එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,
" මට ඕන වුනේ අත කපාගන්නේ නැතුව පළතුරු ගෙඩිය කපන්න. ඒ නිසයි මම ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කළේ. මම තරම් මාධ්‍ය නිදහස දුන් ජනාධිපතිවරයෙක් මෙරට තවත් නැහැ. නමුත් ඒ දුන්නු නිදහස වගකීමක් ඇතිව භුක්තිවිදින්න ඕනේ. කෑම වුනත් කද්දි තමාගේ සීමාවකට කන්න ඕනේ. නැත්තම් උහුලන්නේ නැතිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් අන්න ඒ වගේ " යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබාදුන්නා.
ඔහු එහිදි වැඩිදුරටත් කියා සිටියේ,
" හිටපු ජනාධිපතිවරයෙක් කොමිෂන් සභාවකට සාක්ෂිදෙන්න ආපු පළමු අවස්ථාව මේ. ඒ මම කරපු වෙනස නිසා. මම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මගේ බලතලම මම අඩුකරගත්තා. ජනාධිපතිවරයෙකුට තිබුණ මුක්තිය මම අයින් කළා. ජනාධිපතිවරයෙක් සතුව තිබුණු බලය පාර්ලිමේන්තුවටයි, ස්වාධීන කොමිෂන් සභාවලටයි දුන්නා. එහෙම කරපු ලෝකේ එකම නායකයා මම. මම ඉතාමත් සතුටුවෙනවා අද මේ කොමිෂන් සභාවට එන්න ලැබීම ගැන. මොකද මටත් ඕනේ අප්‍රේල් 21 මෙච්චර විනාශයක් කරපු මේ ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුතු අයව හොයන්න. " යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ " 2015 වර්ෂයේ සිට 2019 දක්වා අන්තවාදය සහ ත්‍රස්තවාදය වැලැක්වීමට ඔබේ පාලන කාලය තුළ ඔබගත් ක්‍රියාමාර්ග මොනවාද " යන්නයි.
" කිසිම රටක රාජ්‍ය නායකයෙක් කැමති නැහැ තමන්ගේ පාලන කාලය තුළ රටේ ත්‍රස්තවාදය හිස ඔසවනවාට. මගේ පාලන කාලය තුළ මම උපදෙස් දුන්නේ ත්‍රස්තවාදය සහ අන්තවාදය පිළිබද මුල් බීජයක් ඇතිවු පමණින් එය මුලිනුපුටා දමන්න. මගේ පියා දෙවන ලෝක සංග්‍රාමයේදි රට වෙනුවෙන් සටන් කරපු විරුවෙක්. එහෙම විරුවෙක්ගේ ලේ තමයි මගේ ඇගේ තියෙන්නෙත්. මම ත්‍රස්තවාදි ප්‍රහාර 05 කින් දිවි බේරාගෙනත් තියෙනවා. " යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළා.
මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයා බලයට පත් යහපාලන රජයේ සිටි මුස්ලීම් මන්ත්‍රීවරුන් 22 න් 11 ක් අමාත්‍යධුර දැරීම පිළිබද ප්‍රශ්න කළා.
එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.
" එතකොට තිබුනේ ද්විපාර්ශීක ආණ්ඩුවක්. මුස්ලීම් ඇමතිවරු සියල්ලම පාහේ තියෝජනය වුනේ මගේ පාර්ශවයෙන් නෙමේ. ද්වි පාර්ශික ආණ්ඩුවේ අනිත් පැත්තෙන්. මම හිතන්නේ 1978 ව්‍යවස්ථාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ සහය ඇතිව අඩුම කාලයක් ආණ්ඩුව කරගෙන ගියේ මම. මම ජනාධිපති වෙලා මාස 06 ක කාලයක් පමණයි පාර්ලිමේන්තුවේ සහයෝගය ඇතුව ආණ්ඩුව කරගෙන යාමට හැකිවුනේ. ඉතිරි මුලු කාලයේම මට කියලා අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුනේ නැහැ. මහබැංකු අධිපති තනතුරට අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම, මහබැංකු බැදුම්කර වංචාව වගේ සිද්ධිවල ඉදලම මම ආණ්ඩුව කරගෙන ගියේ අමාරුවෙන්. " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
" ඒ සමයේ ඇතැම් අවස්ථාවල යුද්ධයේදි විශාල දායකත්වයක් සැපයු ත්‍රිවිඩ හමුදා නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම් සිද්ද වුණා. නමුත් මම ඒවා මගහැරලා ආණ්ඩුව ඉස්සරහාට ගෙනිච්චා. 2018 දෙසැම්බර් වෙනකල් පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබුනේ නැහැ. මගේ යටතට පත්වුණාට පස්සේ මම දිවයිනේ සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්වලා මාසිකව රැස්වීමක් තියන්න පටන් ගත්තා. සමහරු මේ කොමිසම හමුවේ සාක්ෂි දිලා තිබුණා ජාතික ආරක්ෂක මණ්ඩලය දුර්වල වුණා කියලා. නමුත් කිසිම අවස්ථාවක එහෙම දුර්වල වුනේ නැහැ. 2019 ජනවාරි, පෙබරවාරි, මාර්තු වල ජාතික ආරක්ෂක මණ්ඩලය කොතරම් රැස්වීම් පැවැත්වුවාද කියලා මගේ පෞද්ගලික දිනපොතේ තියෙනවා. ඕනේනම් මට එක මේ කොමිසමට දෙන්න පුළුවන්. මම එකේ ඊයේ පෙරේදා සටහන් ලියුවේ නැහැ. ඕනේනම් රජයේ රස පරීක්ෂකට යවලා පරික්ෂා කරවන්න. ත්‍රස්තවාදයක් පිළිබදව මාව කවුරුත් දැනුවත් කරලා තිබුනේ නැහැ. අන්තවාදය ගැන විතරයි මා දැනුවත් කර තිබුනේ. අයි.එස් අන්තවාදය ගැන 2017 වර්ෂයේ ඉදලා මා දැනුවත් කළා. නමුත් 2019 ජනවාරි වල තමයි සහරාන් අයි.එස් මතවාදය දරනවා කියලා කිව්වේ. " යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ " 2017 මාර්තු 10 අලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමෙන් පසු වරෙන්තු නිකුත් කර තිබු සහරාන් හෂීම්ව අත්අඩංගුවට නොගන්නේ මන්දැයි පොලිසියෙන් විමසීමක් කළේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ " වරෙන්තු ලැබ සිටින කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ජනාධිපති උපදෙස් දෙන්න ඕනේ නැහැ. මං ආරක්ෂක කවුන්සලයේදිත් අහලා තියෙනවා ඔය වරෙන්තුකාරයෝ අල්ලන ඒවා ගැන මෙතන කතා කළ යුතුද කියලා. ඒක පොලිසියේ රාජකාරිය. " යන්නයි.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙරළා විමසුවේ, " ඇයි එහෙනම් ඔබ සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා පසු අවස්ථාවක උපදෙස් දුන්නේ එය ජනාධිපතිවරයාගේ කාරණයක් නෙවෙයිනම්..?" යන්නයි.
" පසු අවස්ථාවක මම එහෙම උපදෙස් දුන්නා. ඒ වෙද්දි මට බුද්ධි අංශ වාර්තා කරල තිබුණා සහරාන් අයි.එස්. මතය අනුව යමින් සිටිනවා කියලා. ඒ නිසා මම උපදෙස් දුන්නා සහරාන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලා " යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.
" ඔබතුමා ඒ දුන්න උපදෙස් පිළිපැද තිබූ බවක් 2019.04.21 වෙද්දි තේරුණාද..? යනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළා.
" පැහැදිලි ලෙසම තමා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වී නොතිබුණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ " LTTE කාලයේදීවත් බෝම්බ 8ක් එකදවසක පුපුරා ගියා කියල ඔබ අහල තියෙනවාද ? යන්නයි.
" නැහැ. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබූ සියලු අංශ විශාල ලෙස පසුබෑමක් වෙලා තියෙනවා. ප්‍රහාරය වෙනවා කියල ඒ තොරතුර ලැබුණු අය ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. මම මේ ප්‍රහාරය වෙද්දි ප්‍රතිකාර ගන්න සිංගප්පූරු රෝහලට පිටවෙලා හිටියේ. මං අප්‍රේල් 16 වෙනකල් ලංකාවෙ හිටියා. දැන් දැනගන්න තියෙන්නේ මේ තොරතුර ලැබිලා තිබුණේ අප්‍රේල් 04. අප්‍රේල් 08 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ රැස්වීම තිබුණා. මම 12 මඩකලපුවට ගියා. ඒ වෙලාවෙවත් මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මේ ගැන කියල තිබුණේ නැහැ. ඊට පස්සෙ අවුරුද්දට සුබ පතන්න හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමා දියතලාවේ ඉදන්ම මාව හොයාගෙන ආවා. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරත් ආවා. දෙන්නා ඇවිත් පැය දෙකක් විතර ඉදලා දවල්ටත් කාලා ගියේ. එතනදිවත් කිව්වේ නැහැ මේ ගැන. පස්සෙ මම විදෙස් ගතවෙන්න ගුවන්තොටුපළට ගිය වෙලාවෙ එතනටත් පූජිත් ආවා. මම ෆ්ලයිට් එකට නැග්ගම ඒකේ ඇතුළටත් පූජිත් ඇවිල්ලා 'සුබ ගමන් සර්' කියල මට salute කළා. මං කිව්වා 'මං දවස් හතරකින් එනවා. එතකල් වැඩකටයුතු කරගන්න' කියලා. එතකොටවත් කිව්වානම් ඒ වෙලාවෙම මගේ විදෙස් සංචාරය පවා නතර කරනවා. මගේ ජනාධිපතිධුරය සමයේ මේ ඛේදවාචකය වීම මහා කම්පාවක්. මේ 04 වෙනිදා ලැබුණු බුද්ධි තොරතුර ගැන මට කිව්වේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 22 ආරක්ෂක මණ්ඩලයේදී. මං එතකොට මවිතයට පත් වුණා. මෙවැනි දෙයක් ගැන මට කලින් දන්වලා තිබුණානම් ඒ වෙද්දි ලෝකේ වෙලා තිබුණ සිදුවීම් එක්ක මට අවබෝධයක් ගන්න පුලුවන්කම තිබුණා. මට මේ ගැන කිව්වානම් මම කාදිනල් හිමියන් දැනුම්වත් කරලා, ආරක්ෂක මණ්ඩලය රැස්කරල අවශ්‍ය පියවර ගන්නවා. එහෙමනම් මේ ඛේදවාචකය වෙන්න දෙන්නේ නෑ. මට මේක නොකියපු එක තමයි ලොකුම ප්‍රශ්නෙ. මට මේ ගැන එක ටෙලිෆෝන් කෝලෙකකින් කිව්වානම් මං මේක නවත්වනවා ස්වාමීනි." යැයි හිටපු ජනාධිපතිවරයා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා.