20 සංශෝධනට එරෙහි පෙත්සම් විභාගය අවසන්; තීරණය ජනාධිපතිට සහ කතානායකට (වීඩියෝ)

ඔක් 05, 2020
  • රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන අද අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

    මෙම පෙත්සම් විභාගයට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා හෙට පස්වරු 3.00ට ගොනු කරන ලෙසයි අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියෝග කළේ.

    ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය දින හතරක් පැවැත්වුණා.

    අද දින විභාගය ආරම්භ වු අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති සියල්ලම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව අවධාරණය කළා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැදී සිටින බව නීතිපතිවරයා සදහන් කළා.

    එම වගකීම වඩාත් පුළුල් කරමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ඉවහල් වන ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇතැයි නීතිපතිවරයා පැවසුවා.

    19 වන සංශෝධනය පනත තුළින් අහිමි කෙරුනු ජනාධිපතිවරයා සතු මුක්තිය වත්මන් 20 වන සංශෝධන කෙටුම්පත තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා මේ තුළින් ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි සදහන් කළා.

    ජනාධිපතිවරයා සතු මුක්තිය යළි ස්ථාපිත කිරීම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුතු අභියෝගයට ලක් කිරීමට නොහැකි වන බවටත් ඒ තුළින් අධිකරණය සතු බලතල කප්පාදු කිරීමක් සිදුවන බවත් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ චෝදනා කර තිබුණා.

    එම තර්ක ප්‍රතික්ෂේප කරමින් කරුණු ඇතිවු නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙත මුක්තිය යළි ස්ථාපිත කිරීම තුළින් අධිකරණය බලය කිසිදු ආකාරයකින් කප්පාදු වීමක් සිදු නොවන බව සඳහන් කළා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින හෙයින් මුක්තිය යළි ස්ථාපිත කිරීම තුළින් ජනාධිපතිවරයාගේ නිල කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට තිබූ අවස්ථාව අහිමි වනු ඇති බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බවත් නීතිපතිවරයා පෙන්වා දුන්නා.

    20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් පාර්ලිමේන්තුව තේරී පත්වු දින සිට වසරක් ගෙවී ගිය පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබුණා.

    එහෙත් රජය විසින් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී හදුන්වා දීමට යෝජිත සංශෝධන තුලින් පාර්ලිමේන්තුව තේරී පත්වූ දින සිට වසර දෙක හමාරක් නික්ම යාමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවට නව සංශෝධනයක් එක් කර ඇතැයි නීතිපතිවරයා සදහන් කළා.

    පාර්ලිමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථාවක මහජන යහපත උදෙසා එය විසුරුවා හැර යලි නව මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාව මහජනතාව වෙත ප්‍රදානය කිරීමට මේ තුළින් ජනාධිපතිවරයාට අවස්ථාව උදා වන බව පෙන්වා දුන් නීතිපතිවරයා මේ තුළින් මහජන පරමාධිපත්‍යය වඩා ශක්තිමත් වනු ඇතැයිද පැවසුවා.

    යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් යළි ජනමත විචාරණයක් සදහා යොමු කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී ඇති බවත් ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බව පෙත්සම්කාර පාර්ශවය සදහන් කර තිබුණා.

    එහෙත් යම් පාර්ලිමේන්තුවක් බල අරගලයක් මත යම් පනත් කෙටුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක මහජන යහපත උදෙසා අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයක් හරහා ඍජුවම මහජනයා හමුවේ තැබීමට මෙම පනත් කෙටුම්පත තුළින් ජනාධිපතිවරයා වෙත බලය පවරා ඇති බවත් මේ තුළින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීමක් සිදු නොවන බවද නීතිපතිවරයා තර්ක කර සිටියා.

    20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීමට යෝජනා කර තිබීම තුළින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවට පෙත්සම්වලින් චෝදනා කර තිබුණා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය යනු පත්කිරීම් සිදුකිරීමේ යන්ත්‍රණයක් පමණක් බව නීතිපතිවරයා පෙන්වා දුන්නා.

    පත් කිරීම් සිදු කිරීමට අදාල අනන්‍ය බලය පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා වෙත පමණක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කුමන ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප කර ඒ අනුව කටයුතු නොකර සිටීමට ජනාධිපතිවරයාට වෙත බලය තිබෙන බව නීතිපතිවරයා සඳහන් කර සිටියා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙනුවට 20 වන සංශෝධන කෙටුම්පත තුළින් පාර්ලිමේන්තු මණ්ඩලයක් හදුන්වා දීමට කටයුතු කර ඇති අතර එම මණ්ඩලය සහ 19 වන සංශෝධනය ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය අතර බරපතල වෙනසක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

    20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් යැයි පෙත්සම්වලින් චෝදනා එල්ල කර තිබුණා.

    යම් පුද්ගලයකු වෙත ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කරනු ලබන්නේ විෂයභාර අමාත්‍යවරයා විසින් පුරවැසි පනත යටතේ යැයි පෙන්වා දුන් නීතිපතිවරයා එසේ පිරිනමනු ලබන පුරවැසි භාවය ඕනෑම අවස්ථාවක අහිමි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට එම පනත යටතේ බලය පවරා ඇතැයි සඳහන් කළා.

    පුරවැසි පනත යටතේ යම් පුද්ගලයකු වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනමනු ලබන්නේ රටේ යහපත උදෙසා පමණක් බවත් එවැනි ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියද ඔහුගේ පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයා විසින් අහිමි කළ අවස්ථාවක ඔහුගේ මන්ත්‍රී ධුරය ද අහිමි වන බව මෙහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නා.

    ද්විත්ව පුරවැසියන් ද ශ්‍රී ලාංකික පුරවැසියන් යැයි පෙන්වා දුන් නීතිපතිවරයා ඔවුන්ව වෙනස් ආකාරයකින් සැලකීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා.

    20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා දෙමින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපාදන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ චෝදනා කර තිබුණා.

    මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් හදිසි ආපදා, වසංගත වැනි හදිසි තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක මහජන යහපත උදෙසා පමණක් "හදිසි පනත් කෙටුම්පත්" ඉදිරිපත් කිරිම සඳහා අවස්ථාව සලසා දී ඇති බව සඳහන් කළා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරනු ලබන සංශෝධන මෙම හදිසි ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කිරිමක් නොකරන බව ද නීතිපතිවරයා මෙහිදී අවධානය කළා.

    හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැකි ක්‍රමවේදය මෙරට ව්‍යවස්ථාවට හදුන්වා දෙන පලමු අවස්ථාව මෙය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය බලාත්මක වීමට පෙර මෙම හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරිමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ පනත් ගනනාවක් සම්මත කර ඇතැයි නීතිපතිවරයා පෙන්වා දුන්නා.

    හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරෙන අවස්ථාවක ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා මහජනතාවට තිබෙන අවස්ථාව අහිමි කෙරෙනු ඇතැයි පෙත්සම්කාර පාර්ශවය විසින් මතු කරනු ලබන භීතිය කිසිසේත්ම පිළිගත නොහැකි බව සඳහන් කළ නීතිපතිවරයා අතීතයේ මෙවැනි හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරුණු අවස්ථාවල මහජනයා ඕනෑතරම් අධිකරණය හමුවට පැමිණ ඒවා අභියෝගයට ලක් කර තිබු බවද සිහිපත් කර සිටියා.

    මැතිවරණ කාලසීමාවන් හී මෙරට පුද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීම සදහා මැතිවරණ කොමිසම වෙත මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් බලය පවරා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි අධිකරණය හමුවේ පෙත්සම්කරුවන් විසින් චෝදනා කර තිබුණි.

    ඒ පිළිබඳව කරුණු දැක්වූ නීතිපතිවරයා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම උදෙසා එම ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති බව පෙන්වා දුන්නා.

    වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙරට විගණනයේ ගුණාත්මක භාවය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් හදූන්වා දීම සඳහා 20 වන සංශෝධන පනත් කෙටුම්පත් තුළින් නව ප්‍රතිපාදන කිහිපයක් හදුන්වා දී තිබෙන බව පෙන්වා දුන්නා.

    එම සංශෝධන කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි ඔහු සදහන් කළේ.

    සමස්තයක් වශයෙන් මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කිසිවක් අනුමත කරගැනීමට ජනමත විචාරණයක් සදහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි මෙහිදී නීතිපතිවරයා අවධානය කළේ.

    අවසන් වශයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ අවධාරණය කර සිටියේ මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් තොරව පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 19:56

    Latest News