20 වන සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අද තෙවන දිනටත්

ඔක් 02, 2020

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පෙරවරුවේ තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

    මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තව දුරටත් කරුණු ඉදිරිපත් කරමින් සිටිනවා.

    පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා යෝජිත පනත් කෙටුම්පතේ 23 වගන්තිය තුළින් මාධ්‍ය නිදහසට දැඩි බාධාවක් එල්ල කරන බව පැවසුවා.

    එම වගන්තිය තුළින් මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික මාධ්‍ය ආයතන වෙත විවිධ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් ජනමාධ්‍ය නිදහස කෙරෙහි අගතදායක තත්ත්වයක් උද්ගත වන බව සදහන් කළා.

    ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය ඍජුවම උල්ලංඝනය කරන බවත් සදහන් කළා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන පනත් කෙටුම්පතේ ද මැතිවරණ සමයේ පුද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් ඒවා උල්ලංඝනය කරනු ලබන මාධ්‍ය ආයතන පවරා ගෙන නිසි බලධාරියෙකු පත් කිරීම සඳහා වු බලය මැතිවරණ කොමිසම වෙත පවරා දී තිබු බව සිහිපත් කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රතිපාදන තුළින් මාධ්‍ය නිදහසට සහ ජනතා පරමාධිපත්‍යයට අහිතකර ලෙස බලපානු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවද පැවසුවා.

    වත්මන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනයද ඒ හා සමාන බව කී ජනාධිපති නීතිඥවරයා එය ඍජූවම ජනතා පරමාධිපත්‍යය සමග ගැටෙන හෙයින් එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් සදහා යොමු කිරීම අවශ්‍ය බවත් පෙන්වා දුන්නා

    විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා ගුරු සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥවරු, සිවිල් පුරවැසියන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව 39 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා.

    ඊට අමතරව විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්.දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

    Latest News