මෛත්‍රීපාල ජනපති 2වන වරට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටියා - හේමසිරි ප්‍රනාන්දු

ඔක් 03, 2020

    මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි බවත් පාස්කු ප්‍රහාරය ඊට කළු පැල්ලමක් වූ නිසා තමන් සහ පොලිස්පතිවරයා දොළපිදේනි ලෙස දී සාහසික ලෙස ප්‍රහාරයේ වරදකරුවන් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අටවැනි වරටත් ප්‍රකාශ කළා.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල වෙමින් තිබියදී එවකට අග්‍රාමාත්‍යවරයා විශේෂ රැස්වීමක් කැඳවූවද පැවති දේශපාලන අර්බුද මත හිටපු ජනාධිපතිවරයා තමන්ට සහ ජනාධිපති ලේකම්වරයාට ඊට සහභාගී නොවන ලෙස තදින් දැන්වූ බවයි.

    මෙහිදී පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් 21 වන දින සිදූ වූ සිදුවීම් පිළිබඳව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ, එදින පෙරවරුවේ තමන්ට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඇමතුම් කිහිපයක් ගත් බවයි.

    එලෙස එක් ඇමතුමකදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා මෙතෝදිස්ත පල්ලියක් ඇති ස්ථානයක් විමසූ බවත් මෙතෝදිස්ත පල්ලියක් ඇත්තේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලය අසල බවත් තමන් පැවසූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේ විමසීමට හේතුව විමසීමේදී ප්‍රහාරය එල්ල වන්නේ කතෝලික පල්ලියකට නොව මෙතෝදිස්ත පල්ලියකටයැයි නිලන්ත ජයවර්ධන මහතා පැවසූ බවයි.

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " මේ තොරතුර ලැබුනට පස්සේ ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක පිපිරීමක් සිදුවුණාද ? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " ඔව් ස්වාමීනි. මම කාර්‍යාලයට යන්න ලෑස්ති වෙලා වාහනයට නගිනකොට මගේ මිත්‍රයෙක් කෝල් කරල කිව්වා මෙහෙම හෝටලයක පිපිරීමක් වෙලා කියලා. මන් ඊටපස්සෙ කිහිප දෙනෙකුටම කතාකරත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පසුව කාර්යාලයට ඇවිත් තමයි විස්තර දැනගත්තේ. ඊට පස්සෙ මම කොළඹ බෝම්බ පිපිරුණු හැම තැනටම ගියා."

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " පිපිරීම් දැනගත්තට පසු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණාද..?"

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " ඔව්. උදේ 11ට පැවැත්වෙනවා කියලා මට ඊට පැයකට කලින් දැනුම්දුන්නා අගමැති කාර්‍යාලයෙන්."

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා විදෙස්ගතව සිට ඔබට ඇමතුමක් ගත්තද ?"

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - "මට මුලින්ම ඇමතුමක් ගත්තේ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න. මට අරන් ඇහුවා 'හේමා අගමැති කාර්‍යාලයේ රැස්වීමක් තියෙනවා. දන්නවාද?' කියල. මම ඔව් කිව්වා. එතුමා කිව්වා 'මටත් පණිවිඩය ලැබුණා හැබැයි ජනාධිපතිතුමා කෝල් කරල කිව්වා අපි දෙන්නට යන්න එපා කියල' ඒ ඇමතුමෙන් විනාඩි 10කට පස්සෙ මට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් කෝල් එකක් ආවා. ' මොන තත්ත්වයක් යටතේවත් ඔය දෙන්නා ඔය රැස්වීමට යන්නේ නෑ...' කියල ඉතා තදින් මට එතුමා කිව්වා. "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ලංකාවේ ඒ වනවිටත් බෝම්බ පුපුරන තත්වය දැනගෙනද එතුමා ඔය රැස්වීමට යන්න එපා කිව්වේ ? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " එතුමා දැනගෙන හිටියේ. මමත් ලංකාවෙ තිබුණ කලබලකාරී තත්වය ගැන කිව්වා."

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ජනාධිපතිතුමා රටේ නැතුව රටේ ඉන්න අගමැතිගේ සාකච්ඡාවට යන්න එපා කියනවා... මොකද ඔබට හිතුනේ ?"

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " හිතුනේ ඉතින්.. වැටිලා ඉන්න අසරණකම තමයි ස්වාමීනි. ජනපති යන්න කලින් බලතල පවරලා තිබුණේ නෑ අගමැතිට හෝ කාටවත්. අරාජික තත්වයක තිබුණේ. මං ඒ රැස්වීමට යන්න කැමැත්තෙන් හිටියේ. නමුත් ජනාධිපතිගේ නියෝගයට පිටින් යන්න බැරි නිසා ඊට සහභාගී වුණේ නැහැ. නමුත් මේ වෙද්දි මමත් ආරක්ෂක අමාත්‍යාංශයට පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු බුද්ධි ප්‍රධානීන්ව කැඳවලා තිබුණේ. ඒ වෙලාවේ අගමැති තුමා එතනට ඇවිත් විනාඩි 15ක් විතර ඉඳලා ගියා. අපි ඒ සාකච්ඡාවේදී ඒ වෙද්දි තිබුණ තත්වය ගැනත් මෘත ශරීර එහෙ මෙහෙ ගෙනයන ඒවා ගැන් කතා කළා. "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ප්‍රනාන්දු මහත්මයා.. ඔය 21 ගත්ත පියවර 20 වෙනිදා 'හෙට ගහනවා' කියපු වෙලාවේ ගත්තානම් ආරක්ෂක ප්‍රධානීන්ව කැඳවලා මෘත ශරීර අදින ඒවා ගැන කතාකරන්න ඕනෙ නෑ නේද ?"

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " මට ඒකටනම් උත්තර දෙන්න බැ. පසුකාලීනව මා අධ්‍යනය කරලා දැනගත්තා 20 වෙනිදා මේ තොරතුර එනකොටත් සහරාන්ලා ඉලක්ක ගත වෙලා හිටියේ කියල හොටෙල්ස්වල එහෙම. අපි පොලිස් ඇඳිරිනීතිය දැම්මත් ඒ අය ෂැංග්‍රිලා එකට එහෙම ඇවිත් ඉවරයි. තොරතුරු සියල්ල බුද්ධි අංශ සතුව තිබුණා ස්වාමීනි. ඒකයි ප්‍රහාරය වෙලා සති දෙකක් යද්දි මේකට සම්බන්ධ 200 ගාණක් අල්ලගත්තා. එයාලගේ safe houses හොයාගත්තා. පුහුණු කඳවුරු හොයාගත්තා. ඒ තොරතුරු ගැන අප්‍රේල් 9 වෙනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී බුද්ධි අංශ කතාකරන්න තිබුණා. ඒවා කතා කළා නම් action plan එකක් හදන්න තිබුණා. මං වගකීමෙන් ගැලවෙන්න නෙවෙයි කියන්නේ. බෝමබකාරයො බෝම්බ බැඳගත්තට පස්සේ එයාලව නවත්තන්න බෑ. "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ඔබ දන්නවාද විමර්ශනවලින් අනාවරණය වුණා කිංස්බරි ප්‍රහාරකයා වූ මුබාරක් 20 වෙනිදා රෑ එළියට ගිහින් ගෙදර ගිහින් ඇවිත් තිබුණා. එදාම රෑ සහරාන් හා ඉල්හාම් ෂැංග්‍රිලා හෝටලෙන් එළියට ඇවිත් ආයේ ආවා. පොලිස් ඇඳිරිනීතිය දැම්මනම් මාර්ග බාධකවලදී නවත්තලා බලනවා නේද..? එහෙමනම් ඔවුන්ව පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න තිබුණා නේද..? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න තිබුණද කියල මං දන්නේ නෑ. නමුත් අත්අඩංගුවට ගැනීමක් කරන්න තිබුණා. මේ බෝමබකරුවො බෝම්බ අරන් හෝටල්වලට ගියේ දවස් දෙකකට කලින්. අපේ රටේ 7500ක් බිම් මට්ටමේ බුද්ධි නිලධාරින්ට මේක දැනගන්න බැරි වුණ එක ගැටලුවක් නෙවෙයිද ස්වාමීනි. ප්‍රහාරය සිදුවෙනකල් අපේ බුද්ධි අංශවලට මේක සනාථ කරගන්න බැරි වුණා. මෙ තොරතුර අයිති රාජ්‍ය බුද්ධි සේවයට."

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ඔබ හිතන්නැත්ද ඉන්න රවුමෙන් පිටතට ගිහින් නිසි පරිදි ඔබේ මේසයට එන වාර්තා කියවලා හරි පියවර ගත්තානම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න පුලුවන් කියලා ? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " මං ඒක පිළිගන්නේ නෑ ස්වාමීනි. 21 වෙනිදා වෙනකල් සහරාන් ත්‍රස්තවාදීයෙක් කියල රාජ්‍ය බුද්ධි අංශය දැන සිටියේ නැහැ "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ප්‍රහාරයක් කරන්න ත්‍රස්තවාදීයෙක් වෙන්න ඕනේද ? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " ප්‍රහාරයක් කිව්වම පිහියකින් අනින කෙනා ත්‍රස්තවාදීයෙක් වෙන්නේ නැනේ. සාමාන්‍ය මිනිස්සු බෝම්බ හදන්නැනේ "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " වනාතවිල්ලුවේ අවි ගබඩාවට සම්බන්ධ සහරාන් බව පාස්කු ප්‍රහාරයට පෙර ඔබ දැන සිටියානේ. එතකොට සහරාන්ලා බෝම්බ හැදුවේ මිනිස්සුට විකුණන්නද ?"

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " නෑ ස්වාමීනි "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " මේ සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා කවදද ලංකාවට ආවේ ? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " 21 රෑ "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " මොනවාද ගුවන් තොටුපළේදි කතා කළේ ?"

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " මුකුත් නැහැ "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " එහෙනම් ඇයි ගියේ..? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " එතුමා බොහොම වෙහෙසිලා ආවෙ. එතන හිටපු කිසිකෙනෙක් එක්ක කතාකරන්න උවමනාවක් එතුමට තිබුණේ නැහැ. "

    රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - " ඇයි ඔබ යම් අවස්ථාවකදී ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වෙන්න හිතුවේ ? "

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " මට අප්‍රේල් 23 පොලිස්පති කෝල් කරලා කිව්වා 'ජනාධිපති කිව්වා ධූරයෙන් ඉවත් වෙන්න කියපු කතාව. පස්සෙ මං ජනාධිපති හම්බෙන්න ගිහින් කිව්වා 'සර්.. පොලිස්පති ඉන්නේ මගේ යටතේ. ඒ නිසා මන් resign වෙනවා. සර් ඊයේ ජාතිය අමතල අපෙන් කටඋත්තරයක් වත් ගන්නේ නැතුව කිව්වා මේකට වගකියන්න ඕනේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කියල. එහෙම කියන එක හරි නැහැ සර්..' කියලා. පස්සේ මං ඉල්ලා අස්වීමේ ලිපිය යවලා අමාත්‍යාංශයෙන් ගියා. "

    අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්න කිරීම අවසන් කෙරුණු අතර කොමිසම හමුවේ පෙනී සිටින පාර්ශවකරුවන්ට හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව හිමිවුණා.

    එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා සාක්ෂිකරුගෙන් විමසුවේ හිටපු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළේ දෝෂාරෝපණයක්යැයි ඔබ අදහස් කරන්නේද යන්නයි.

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - " රාජ්‍ය නායකයෙක් විදියට කරන්න පුලුවන් සාහසිකම ප්‍රකාශයක් එතුමා එදා කළේ ජාතිය අමතමින්. ලේකම්වරයා වරදක් කළානම් ගත යුතු පියවර ආයතන සංග්‍රහයේ තිබෙනවා. ඒවා නොකර අමාත්‍යාංශ ලේකම් හා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව වරදකරුවන් කළා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ.. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දෙවෙනි පාරට ජනාධිපති වීමේ සිහිනයක් තිබුණා. එතුමා ඒකට සුදානමෙන් හිටියේ. ඒකට පාස්කු ප්‍රහාරය කලු පැල්ලමක් වුණා. ඒකට දේශපාලන දොළපිදේනි දෙකක් ඕන වුණා. මාවයි පූජිත්වයි ඉතා නිර්ධය විදියට ඒ නිසා මේකට වරදකරු කළා. "

    අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් අවශ්‍යදැයි කොමිසම විමසූ විට අවශ්‍ය නොවන බව එම නීතිඥවරයා කොමිසමට දැනුම් දුන්නා.

    ඉන් පසුව හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාවක් හිමිවුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥ මධූ ජයතිලක මහත්මියටයි.

    කෙසේ වෙතත් හරස් ප්‍රශ්න විමසීම අතරතුර හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමට පැවසුවේ තම සෞඛ්‍ය තත්වය අයහපත් මට්ටමක පවතින බැවින් සාක්ෂි විමසීම කල් තබන ලෙසයි.

    ඒ අනුව ජනාධිපති කොමිසම විසින් ඔහුගේ සාක්ෂි විමසීම පසුවට කල්තැබුනා.

    Latest News