බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරිම් 2023ට පෙර නිම කිරීමට ජනපති උපදෙස්

ඔක් 01, 2020

    බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර තිබිණ.

    ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැළපෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පෙන්වා දෙති.

    2023 වසරට ගැළපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් (Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    ගුවන් තොටුපොළ කාර්යයන් අඩපණව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රී වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නේය.

    දෙවන පර්යන්තයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග වසරකට ගුවන් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවකට සේවා සහ මෙහෙයුම් පහසුකම් සැපයේ. පිටවීමේ සහ පැමිණීමේ පර්යන්ත අංශ දෙකක් ලෙස ක්‍රියාත්මකවීම ද ඒ සමගම ඇරඹේ. ඊ-ගේට් පහසුකම් ඔස්සේ මගීන්ට කාර්යක්ෂම සේවාවක් සැලසීමට ද සැලසුම් කර තිබේ.

    ඊට සමගාමීව වාහන නැවතුම් අංගනයද ගුවන් තොටුපොළට යාබද භූමියක ඉදි කෙරේ.

    මත්තල ගුවන් තොටුපොළ ජනවාරි සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදු කර ඇති අතර ඉන් සේවාව ලැබූ මගීන් සංඛයාව දොළොස්දහසකට අධිකය.

    ඉදිරියේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.

    ගුවන් කාර්ය මණ්ඩලයට මත්තල ගුවන් තොටුපොළ අවට සියලු පහසුකම්වලින් යුත් හෝටල් පහසුකම් සැපයීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    රත්මලාන ගුවන්තොටුපොළ නවීන තාක්ෂණික පහසුකම් සහිතව පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.

    මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් සඳතැන්න, සීතාඑළිය සහ දිගන අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් ප්‍රවර්ධනය කෙරෙහිද විශේෂ අවධානය යොමු කෙරිණ.

    සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒකාබද්ධව ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය. එහි විදෙස් සිසුන්ට ද අවස්ථාව දිය හැකි බව එතුමා පෙන්වා දුන්නේය.

    දිවයින පුරා පිහිටි ආයෝජන කලාපවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව විමර්ශනය කෙරුණු අතර නව ආයෝජන අවස්ථා හඳුනාගනිමින් විදෙස් ආයෝජකයන් ආකර්ශණය කරගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    ආයෝජන මණ්ඩලයට මේ වන විට ලැබී ඇති ආයෝජන අවස්ථා කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 ඔක්තෝබර් 2020 14:43

    Latest News