හිජාස් හිස්බුල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි

සැප් 16, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    එම පෙත්සම අද එල්. ටී. බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අදාල නඩු කටයුත්ත අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවයි.

    අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු සලකා බලා මෙම පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව පෙත්සම ලබන 23 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

    සිය නීතිඥවරයා මාර්ගයෙන් අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනුකළ පෙත්සමමෙන් සඳහන් කර තිබෙන්නේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බවයි.

    තමා මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ආවරණය වී නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුතමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවයි කියා සිටින්නේ.

    ඒ අනුව තමන්ව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මේ අතර අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා තවත් නීතීඥවරු තුන්දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා එදින කැඳවන ලෙසයි, ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේ.

    Latest News