ඥාණසාර හිමිට එරෙහි නඩුවකින් විනිසුරු නවාස් ඉවත් වෙයි

සැප් 16, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙක්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා අද ඉවත් විය.

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

    එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

    ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

    එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 20 වැනිදා කැඳවීමට ද දින නියම විය.

    ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට අදාළව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

    මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව තම සේවාදායිකාව සහනයක් අපේක්ෂා නොකරන බැවින් ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දන්වා සිටියා.

    ඒ අනුව මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු විභාගයෙන් මුදා හැරීමටද අභියාචනාධිකරණය තීරණය කළේය.

    Latest News