ව්‍යාජ ඔප්පු සිද්ධියක් සම්බන්ධ හිටපු ඇමති රිෂාඩ්ගේ සොයුරුට එරෙහි නඩුව

සැප් 10, 2020

    ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි මන්නාරම් ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීති විරෝධී විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිස්කාන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කොට ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම ඔප්පුවල අන්තර්ගත ව්‍යාජ අත්සන් පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තා ඉල්ලා ඇති බවත් රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසුව විමර්ශන කටයුතු අවසන් කර උපදෙස් පතා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියා.

    එම අවස්ථාවේ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් නඩු දිනයේදී ප්‍රකාශ කළත් දැන් එම විමර්ශන කටයුතු අවසන් වීමට ආසන්න බව ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව කියා සිටියා.

    මෙම නඩුවේ සැකකරුවන්ගේ පාර්ශවයෙන් එල්ල වී ඇති බලපෑමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත් ද යන සැකය තම සේවාදායකයා තුළ ඇතිවී තිබෙන බව පෙන්වාදුන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා විධිමත්ව විමර්ශන කටයුතු සිදු කර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි අධිකරණය ඉල්ලා සිටියේ.

    ඒ අනුව මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන විධිමත්ව සිදු කොට සෙසු සැකකරුවන්ද සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    මෙහිදී සැකකාර මොහොමඩ් රිස්කාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට ඇප නියම කිරීමේ දී සෑම සතියකම ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවා ඇති බවත් එම කොන්දේසිය ලිහිල් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සැකකරුට අධිකරණය විසින් මෙම කොන්දේසිය පනවනු ලැබුවේ මෙම වරදේ ස්වභාවය හා සැකකරුගේ පෙර හැසිරීම සැලකිල්ලට ගෙන බවත් ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළා.

    ඉන් අනතුරුව පැමිණිල්ල ඔක්තෝම්බර් මස 22 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඉදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

    Latest News