බන්දුලගේ අභියෝගය අකිල බාර ගනී

ජන 09, 2019

    2018 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (08) සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) ප්‍රතිචාර දක්වනු තිබේ.

    “ඊයෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අභියෝගයක් කරල තිබුණා, ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට උසස් පෙළ විභාගයේ ශ්‍රේණියක් ලැබුණ ම ඒ සම්බන්ධයෙන් විවාදෙකට එන්න කියලා. මම කල්පනා කළා මේ විවාදෙට යනවද නැද්ද කියලා. ගැටළුව තියෙන්නෙ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එක්ක විවාදෙකට ගිහිල්ල තර්ක කරලා වැඩක් තියෙනවද කියන එකයි. මොකද එතුමා කියන ඔක්කොම අපි පිළිගන්න ඕන. මේ රටේ ජනතාව පිළිගන්න ඕන. එක කාලෙක එතුමා කිව්වා හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට රුපියල් 2500කින් ජීවත්වෙන්න පුළුවන් කියලා. අපි කවුරු කොහොම නෑ කිව්වත් එතුමා ඒක පිළිගන්නෙ නෑ. එතුමා කියන මතයේ අපි ඔක්කොම ඉන්න ඕන. ඒ වගේ ම එතුමා තවත් විටෙක කිව්වා පෝර්ට් සිටි ව්‍යාපෘතියට රාජපක්ෂ පාලන සමයෙදි සින්නක්කර ව ලංකාවෙ භූමියෙන් කොටසක් ලියල දුන්නෙ නැහැ කියලා.

    එතුමා අභියෝග කළා. ඒ වගේ ම මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඒ අභියෝගය භාර අරගෙන ඔප්පු කරලා පෙන්නුවත් එතුමා ඒකත් පිළිගත්තෙ නෑ. ඒ වගේ ම එතුමා පහුගිය ඔක්තෝබර් 26 වැනිදට කලින් විපක්ෂෙ ඉන්නකොට ඩොලර් එක ඉහළ යාම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළා. දැඩි ව විවේචනය කළා. හැබැයි එතුමට බැරිවුණා, ආණ්ඩුව ආවම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න.

    එතුමා කිව්වා ඩොලර් එක අතින් අල්ලල නතර කරන්න ද කියලා. ඒක එතුමා පිළිගත්තෙ නෑ. ඒ වගේ ම එතුමා තවත් විටෙක කිව්වා ඉන්ධන මිල ඉහළ යනකොට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යනකොට ශක්‍රයගෙ පුතා වයිමා ආවත් ඒක නවත්වන්න බැහැ කියලා. ඒ වගේම අපි අපේ ආණ්ඩුව කාලෙ ඉන්ධන මිළ ඉහළ යනකොට ඉන්ධන මිල පාලනය ගැන එතුමා වෙනත් කතාවක් කිව්වෙ. ඒ නිසා මේ හැම කතාවකටම එතුමාගෙ කතා සම්බන්ධයෙන් බරපතල පරස්පරතා තියෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ එතුමාගෙ පුහු තර්කත් එක්ක මේ පිළිබඳ එතුමා එක්ක තර්ක කරලා වැඩක් තියෙනවද කියලා අපි කල්පනා කරන්න ඕන. තර්ක කරන්න ඕන යමක් පිළිගන්න කෙනෙක්.

    අඩු ගානෙ වැරැද්ද වැරැද්ද විදියට දකින, හරි දේ හරි විදියට දකින අය සමඟ. එතුමා මේ වැරැද්ද හදාගන්න ගිහිල්ල වැරැද්ද පිළිනොගැනීම නිසා තවදුරටත් එතුමා ඒ වැරැද්දෙ හිරවෙලා තියෙනවා. නැත්නම් ඒ වැරද්දෙ ගිලිල තියෙනවා. ජනතාව මේ සම්බන්ධයෙන් තීරණය කරාවි. වැරද්ද පිළිගන්නෙත් නැත්නම්, පිළිගන්වන්නත් බැරිනම් අපිට නිකම් බොරු පුහු මත එක්ක නිකන් තර්ක කරලා වැඩක් නෑ කියලා මම කල්පනා කරනවා.”

    Last modified on බදාදා, 09 ජනවාරි 2019 19:49

    Latest News