පාර්ලිමේන්තු රැස්වීම්වලට යාමට අවසර දෙන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකරගෙන් පෙත්සමක්

සැප් 04, 2020

    තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණීය දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

    එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

    එසේ තිබියදී ඉකුත් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි පෙත්සම්කාර ප්‍රේමලාල් ජයසේකර මහතා චෝදනා කර සිටින්නේ.

    තමන්ට නියම වී ඇති මරණ දණ්ඩනයට එරෙහිව තමා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා තමන්ට කිසිදු බාධාවක් නොමැති බවයි ඔහු කියා සිටින්නේ.

    ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගිවීමට තමන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත රිට් ආඥාව නිකුත් කර ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News