ඇප මත මුදා හරින ලෙස ඉල්ලූ අනුරුද්ධ සම්පායෝගේ පෙත්සම විභාගයට අවසර

අගෝ 27, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහැර ලෙස ඉල්ලා හිටපු මිගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

    ඒ අනුව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව වෙත ලබන මස 21 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කළා.

    පෙත්සම්කාර සම්පායෝ මහතා කියා සිටින්නේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බව කියන දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන මේ වන විට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

    තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමින් සිය නීතිඥවරු ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කලත් එය ප්‍රතික්ෂේප කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

    ඒ අනුව තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ම ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News