සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා විභාගය

අගෝ 27, 2020

    සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා අද යළි අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තා.

    කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ අද දෙවන දිනටත් සිය දේශන ඉදිරිපත් කළා.

    අනතුරුව වැඩිදුර විමසීම ලබන 02 වනදා තෙක් කල් තැබුණා.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා.

    එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබුවා.

    තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

    Latest News